පාතාලය සමඟ සටන් කළ මාතර පොලිස් සැරයන්, අවසන් ගමන් යයි

Sunday, 24 June 2018 - 19:08

%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියේදී කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහගේ අවසන් කටයුතු අද (24) මාතර පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.

මේ අතර, පොලිස් වෙඩි පහරින් තුවාල  ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවන් අතරින් දෙදෙනෙකු අද (24) අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා.

තවත් එක් සැකකරුවෙකු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලකට කඩා වැදුණු කොල්ලකරුවන් පිරිසක් ඉන් පළා යාමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය සමඟ වෙඩි හුවමාරුවක් සිදුවුණේ පසුගිය 22 වන දායි.

එහිදී කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් පොලිස් කොස්තාපල් සුරංග ප්‍රදීප් වීරසිංහ ජීවිතක්ෂයට පත්වුණා.

පසුව ඔහු කොස්තාපල් තනතුරේ සිට සැරයන් තනතුර දක්වා උසස් කිරීමටයි පොලීසිය කටයුතු කළේ.

මාතර - ගොඩගම පිහිටි ඔහුගේ නිවසට අදත් විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණියා.

නිවසේ තැන්පත් කර තිබූ දේහය අද (24) පස්වරු 3.30ට පමණ මාතර පොලිස් ස්ථානය වෙත රැගෙන ආවේ ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහායි.

මේ අතර, පොලිස් සැරයන්වරයා සිහිකර මාතර නගරයේ ඇතැම් වෙළඳසැල් ද අද පස්වරු 2.30 සිට පැය දෙකක කාලයක් වසා දැමීමට පියවර ගෙන තිබුණා.

මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මියයාම පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විවේචනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

සිය ට්විටර් ගිණුමට නිකුත් කළ පණිවුඩයක් මඟින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ එම සිද්ධියේදී පොලිස් කොස්තාපල්වරයෙකු කුරිරු ලෙස ඝාතනයට ලක්වීම ඊට සමාන අන්දමින් පොලිස් අත්අඩංගුවේදී සැකකරුවෙකු ඝාතනයට ලක්වීම මගින් සාධාරණීකරණය කළ නොහැකි බවයි.

මෙය යහපාලනය මිස යම පාලනය නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම පුද්ගලයන් අතුරුදන්වීම පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් විසින්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය අදහස් පළ කර තිබෙනවා.

ඔහු සඳහන් කර ඇත්තේ පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයන් මියයන අවස්ථාවන් පිළිබඳව වහාම ස්වාධීන පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories