ලෝක උරුමය වෙනුවෙන් ගාලූ පිටිය වෙනස් වෙයි

Wednesday, 18 July 2018 - 13:28

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගාලූකොටු පවුර ලෝක උරුමයක් ලෙස රැක ගැනීම වෙනුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය මහජන ක්‍රීඩාංගනයක් බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සංස්කෘතික, ක්‍රීඩා, දක්ෂිණ සංවර්ධන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ වල ලේකම්වරුන්, ගාලූ උරුමය පදනමේ නිලධාරින් සහ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පරිපාලන නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ක්‍රීඩාගාර ඇතුළු සියලූ ඉදිකිරීම් අනවසර ඉදිකිරීම් බවට යුනෙස්කෝ සංවිධානය දැනුම්දී ඇති බව වාර්තා වූයේ මීට දින කිහිපයකට ඉහතදීයි.

එමගින් යුනෙස්කෝ සංවිධානය දන්වා තිබුණේ අදාළ ඉදිකිරීම් හේතුවෙන් ගාලූ කොටු පවුර ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට සිදුවන බවයි.

2019 වසරේ දෙසැම්බර් පළවනදාට පෙර එම ඉදිකිරීම් ඉවත් කළ යුතු බවට ද යුනෙස්කෝ වාර්තාවේ සඳහන් වුණා.

මෙම දැනුම්දීමෙන් පසු රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී ගාල්ල ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් සඳහා අවසර නොමැති බවට නාගරික සංවර්ධන අධිකාරිය අදහස් පළ කර ඇති අතර, ඔවුන් පවසා ඇත්තේ ගාලූ ක්‍රීඩාංගනය ඉදිකිරීමේදී යුනෙස්කෝ සංවිධානයේ අවසරය ද ලබාගෙන නොමැති බවටයි.

මෙම සාකච්ඡාවේදී පැමිණි එකඟතාවයන් තවදුරටත් තහවුරු කිරීම සඳහා මීට දින දෙකකට පෙරදී අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සාකච්ඡාව පවත්වා තිබෙනවා.

එහිදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඇති ඉදිකිරීම් ඉවත් කර එය මහජන ක්‍රීඩාංගනයක් බවට පත් කිරීමට අවසන් වශයෙන් එකඟතාවයකට පැමිණ ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අප ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය භාරව සිටින පරිපාලන නිලධාරින්ගෙන් විමසා සිටි අතර ඔවුන් ප්‍රකාශ කළේ මෙම ක්‍රීඩාංගනයට අලූතින් ඉදිකිරීමට යෝජිත නාගරික සංවර්ධන අධිකාරියට අයත් පින්නදූවේ පිහිටි භූමිය ඉදිරි සතියක කාලසීමාව තුළ නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බවයි.

අලූතින් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට රුපියල් මිලියන 700 ක මුදලක් වැය වන බැවින් එහි අවශ්‍යතාව පිළිබඳ යළි විමසා බැලිය යුතු බව ද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා අප කළ විමසීමේදී වැඩිදුරටත් කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories