නඩු තීන්දුව ලක්ෂ වාරයක් කියෙව්වත් දුමින්ද වරදකරුවකු කර ඇත්තේ කුමන පදනමකින්ද කියා කිසිවකුටත් සොයාගන්නට බෑ

Thursday, 16 August 2018 - 7:01

%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AF%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B6%E0%B7%91
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනකු හට මරණ දඬුවම් නියම කරමින් 2016 සැප්තැම්බර් මස 08 වැනිදා කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විශේෂ විනිශ්චය මණ්ඩලයක් විසින් දෙන ලද ඒකමතික නොවූ (2 - 1) බෙදුණු නඩු තීන්දුව සහමුලින්ම වැරදි තීන්දුවක් බැව් පවසමින්, එකී තීන්දුව ඉවත දමා සියලු විත්තිකරුවන් නි‍දොස් කොට නිදහස් කරන ලෙසට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද විශේෂ අභියාචනා නඩු විභාගය ඉකුත් සිකුරාදා දෙපාර්ශ්වයේම අවසන් ලිඛිත දේශන භාරදීමත් සමඟ නිමාවිය.

ඒ අනුව අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, විනිසුරු නලීන් පෙරේරා සහ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල විශේෂ විනිශ්චය මණ්ඩලයේ තීන්දුව නොබෝ කලකින් නිකුත් කිරීමට නියමිතය.

විවෘත අධිකරණයේ මාස 05කට ආසන්න කාලයක් තිස්සේ පැවැති අභියාචනා නඩු විභාගයේදී අභියාචක පෙත්සම්කරුවන් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වාත්, ඔහුගේ ආරක්ෂකයන් වශයෙන් සිටි ඩී.එම්. සරත් බණ්ඩාර, අනුර තුෂාර ද මෙල්, චමින්ද ජයනාත් සිවුදෙනා වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් දිගින් දිගටම තහවුරු කර සිටි කරුණු නිෂේධනය කිරීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රමුඛ රජයේ නීතිඥ මණ්ඩලය සමත් නොවූ බැව් ලිඛිත දේශන මඟින් නීතිඥවරුන් පෙන්වා දී ඇත.

2011 ඔක්තෝබර් 08 වැනි දින පැවැති පළාත් පාලන මැතිවරණ දිනයේදී කොළොන්නාව - හිඹුටාන ප්‍රදේශයේදී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ව සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රත් ආර්. දුමින්ද සිල්වාත් සිය ආධාරකරුවන් සමඟ ගමන් ගත් වාහන දෙක එකටෙක මුණගැසී ඇති අතර පැවැති මාර්ග තදබදය හේතුවෙන් මාර්ගය ඉඩ ලබාගැනීමට දෙදෙනාම උත්සාහ කිරීමත් සමඟ දෙපාර්ශ්වයම වාහනවලින් බැස බහින්බස් වීමකට මුලපුරා ඇත.

නඩු විභාගයේදී අනාවරණය වූ පරිදි එහිදී දුමින්ද සිල්වා මන්ත්‍රිවරයා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරයාගේ බෙල්ල ප්‍රදේශයට අත තබා ඔහු ඉවතට තල්ලුකොට ඇති අතර සමබරතාව ගිලිහීගොස් ඔහු පැත්තට ඇල වී ඇති බවත් ඒ සමඟම ඔහුගේ (ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරයාගේ) ආරක්ෂකයා වූ ගාමිණි නැමැත්තා දුමින්ද සිල්වා මන්ත්‍රිවරයාගේ හිසට වෙඩි පහරවල් දෙකක් එල්ල කළ බවත් සිහි විසඥව ඇද වැටුණු ඔහු ඔහුගේ ආරක්ෂකයන් විසින් වහා රථයට දමාගෙන රෝහලට ගෙන ගිය බවත් ඒ අතරතුරදී ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරයා ඇතුළු පිරිසටද වෙඩි වැදී ඇති බවත් ප්‍රකාශ විය.

මෙම මහාධිකරණ නඩු විභාගයේ පුද්ගල සාක්ෂි 42ක්ද පරිවේශන සාක්ෂිද ඇතුළුව සෙසු සාක්ෂි 126ක්ද ඉදිරිපත් වූ බවත් 2016 අගෝස්තු මස සිය නඩු විභාගය අවසන් කරමින් සැප්තැම්බර් මස 06 වැනි දින ප්‍රකාශයට පත්කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිශ්චය මණ්ඩලය වෙනුවෙන් තීන්දුව ලියූ පද්මිණී රණවක විනිසුරුවරිය විසින් ප්‍රකාශ කොට ඇත.

එහෙත් දුමින්ද සිල්වා විසින් ගිනි අවියක් භාවිත කළ බවටවත්, ඔහු කිසිදුම අවස්ථාවක ගිනි අවියක් අත දරා සිටි බවටවත් එකදු සාක්ෂියකින්වත් තහවුරු වීමට තබා ප්‍රකාශ වීමක්වත් නොවූ බව ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ඇතුළු පෙත්සම් පාර්ශ්වයේ සියලුම නීතිඥවරුන් අභියාචනාධිකරණ නඩු විභාගයේදී පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ පෙන්වා දුනි.

තවද මෙම සිද්ධියේදී ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරයාගේ බෙල්ලට අත තබා තල්ලුකොට ඉවතට හැරී යන දුමින්ද සිල්වා මන්ත්‍රිවරයාට ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරයාගේ ආරක්ෂක ගාමිණී විසින් පිටපිට වෙඩි දෙකක්ම තැබීමෙන් පසු මෙම සුළු සිද්ධිය බරපතළ සිද්ධියක් බවට පත්වූ බව අභියාචන නඩු විභාගයේදී පැමිණිලි පාර්ශ්වය වූ නීතිපතිවරයා විසින් පවා පිළිගැනීම අනුව දුමින්ද සිල්වා වරදකරුවකු කිරීමට හා ඔහුට දඬුවම් නියම කිරීමට විනිසුරුවරිය ගෙන ඇති තීරණය සහමුලින්ම වැරදි තීන්දුවක් බව ඕනෑම අයකුට වැටහෙන සරල සිද්ධාන්තයක් බවද ජනාධිපති නීතිඥවරුන් පංචපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ පෙන්වා දුනි.

කෙටියෙන්ම ප්‍රකාශ කරනවා නම් දුමින්ද සිල්වා මෙම නඩුවෙන් වැරැදිකරුවකු කරන ලද්දේ කුමන කරුණක් හෝ හේතුවක් නිසාදැයි යන්න සොයා ගැනීම සඳහා තමා එම නඩු තීන්දුව තිස් හතළිස් වතාවක් විවිධාකාර කෝණ ඔස්සේ ඉතාමත්ම විමසිල්ලේ බැලුවද එවැනි කරුණක් සොයාගත නොහැකි වූ බවත් ඒ අනුව මෙම නඩු තීන්දුව ලක්ෂ වාරයක් කියැව්වද කිසිවකුටවත් දුමින්ද සිල්වා වැරැදිකරු කර ඇත්තේ කුමන පදනමක් මත දැයි සොයාගත හැකි නොවන බවත් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කියා සිටියේය.

ජනාධිපති නීතිඥවරුන් පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයේ අවධානයට යොමුකරන ලද කරුණු අතර තවත් අවධාරනාත්මක කරුණක් වූයේ මෙම සිද්ධියේදී නිරායුධව තම වාහනය වෙත යෑමට හැරුණු දුමින්ද සිල්වාගේ හිසට ප්‍රේමචන්ද්‍ර පාර්ශ්වය විසින් ප්‍රථමයෙන්ම වෙඩි තැබූ බවත් ඒ වෙඩි පහරින් ඔහු සිහිසුන්ව යෑමෙන් පසු සිදුවූ දේවල් සම්බන්ධයෙන් ඔහුට වගකීමක් පැවරෙන්නේ කුමන පදනමකින්ද යන්න ගැටලුවක් බවත්ය.

තවද නීති විරෝධී රැස්වීමක සාමාජිකයකු වෙමින් මෙම අපරාධයට සම්බන්ධ වී යැයි ඔහුට චෝදනා කිරීමට නීතිපතිවරයා ක්‍රියා කර ඇත්තේත් එය පිළිගන්නට විනිසුරුවරිය ක්‍රියා කර ඇත්තේත් කුමන පදනමකින්ද යන්න සම්බන්ධයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ අවධානය යොමු කරවන බවද ජනාධිපති නීතිඥවරු කියා සිටියහ.

තවද මෙම මහාධිකරණ නඩු විභාගයේදී සාක්ෂිකරුවන් 42ක් අතරින් දුමින්ද සිල්වාට එරෙහිව විවෘතවම කරුණු ප්‍රකාශ කොට ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරියගේ පෙලඹවීම මත සිද්ධියට දින 06කට පසු අපරාධ පරීක්ෂණ නිලධාරියකු හට කටඋත්තරයක් දෙමින් 27 වැනි සාක්ෂිකරු වන සංජීව ප්‍රසාද් නමැත්තා පමණක්ම බවත් ඔහුගේම සාක්ෂියෙන් ප්‍රකාශ කොට ඇති පරිදි සිද්ධිය සිදුවන අවස්ථාවේත් එතැන් සිට දිගින් දිගටමත් නිරන්තරයෙන්ම සම්බන්ධව සිටියේ යැයි පවසන එම සාක්ෂිකරු මරණ පරීක්ෂණයේදී හෝ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී හෝ මූලිකම පොලිස් පරීක්ෂණයේදී හෝ කටින් වචනයකුදු පිට නොකොට සිට දින 06 කට පසු කට අරින්නේ හිතාමතා ගොතා සකස්කොට දෙන ලද ප්‍රකාශයක් පැවැසීමට මිස තමා දුටු දෙයක් ප්‍රකාශ කිරීමට නොවන බව ගරු විනිශ්චය මණ්ඩලයට මනාව වැටහෙන බවද විනිසුරුවරියට එය තේරුම් නොයෑම පුදුමයක් බවද ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

තවද මෙම සිද්ධිය සැලසුම් සහගත සිද්ධියක් නොව අහම්බයෙන් සිදුවූ එකිනෙකා මුහුණට මුහුණ මුණගැසීමත් සමඟ හටගත් සිදුවීමක් බව දුමින්ද සිල්වාට එරෙහි එකම සාක්ෂිය වන 27 වැනි සාක්ෂිකරු වන සංජීව ප්‍රසාද්ගේ් සාක්ෂියෙන් පවා තහවුරු වී ඇති බවද එසේ තිබියදී අපරාධ පරීක්ෂණ නිලධාරීන් හා නීතිපති නිලධාරීන් ඉදිරිපත් කරන ලද පරස්පර විරෝධී කරුණු පිළිගනිමින් විනිසුරුවරිය තීන්දුවක් දීම මෙහිදී සිදුවී ඇති බවද නීතිඥවරු පෙන්වා දුන්හ.

තවද මහාධිකරණ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි පරස්පරතා සහ උෟනතා 62කින් යුක්ත බව විනිසුරුවරිය සිය තීන්දුවේම සඳහන් කරමින්ම එය නොසලකා හැරීම "සැකයේ වාසිය විත්තියට හිමිවිය යුතු බවට" ඇති සිද්ධාන්තය පවා නොසලකා හරිමින් අත්තනෝමතිකව තම පරිකල්පනයන් මත පිහිටා නඩුවක් තීන්දු කිරීමක් බවද ඔවුහු කියා සිටියහ.

මෙම සියලු කරුණු හමුවේ මහාධිකරණ නඩු තීන්දුව කුමන ආකාරයකින් හෝ සාධාරණීකරණය කළ නොහැකි, නීතියට පටහැනිව යමින්, නඩු විභාගයේදී ඉදිරිපත්වූ කරුණු නොසලකා හරිමින් විත්තිවාචක සහමුලින්ම බැහැර කරමින්, නීති ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් දෙන ලද බරපතළ දෝෂ සහිත නඩු තීන්දුවක් බැවින් එය ඉවත දමා සියලුම විත්තිකරුවන් සියලුම චෝදනාවලින් නි‍දොස් කොට නිදහස් කරන ලෙස නීතිඥවරු පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයෙන් සිය අවසන් ලිඛිත දේශන යොමුකරමින් ඉල්ලා සිටියහ.

http://www.mawbima.lk/print20180101MB20181230.php?id=18490

(කමල් මහේන්ද්‍ර වීරරත්න / මව්බිම පුවත්පත)





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories