‘‘ජනබලය කොළඹට’’ විරෝධතාව ලේක්හවුස් වටරවුමේ - කොළඹට තවමත් විශේෂ ආරක්ෂාව

Wednesday, 05 September 2018 - 18:41

%E2%80%98%E2%80%98%E0%B6%A2%E0%B6%B1%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7%E2%80%99%E2%80%99+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%9A+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80
ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ජන බලය කොළඹට විරෝධතාව මේ වනවිටත් ලේක්හවුස් වටරවුමේ පැවැත්වෙනවා.

ඒ හේතුවෙන් කොළඹ නගරය අද පෙරවරුවේ සිටම පැවතුනේ දැඩි ආරක්ෂාවක් යටතේයි.

ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, පාර්ලිමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය සහ පසුගියදා අලූතින් පිහිටවූ විශේෂ අධිකරණ සංකීර්ණයටද පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ් ආරක්ෂාව යොදා තිබුණා.  

ඒ, ජනබලය කොළඹට විරෝධතාව පවත්වන ස්ථානය සම්බන්ධයෙන් පැහැදිළි අදහසක් සංවිධායකයින් ප්‍රකාශයට පත් නොකළ තත්ත්වයක් තුළයි.

කෙසේ වෙතත් පස්වරු එක පසුවී ඔවුන් ප්‍රකාශ කළේ ස්ථාන කිහිපයකින් විරෝධතා පා ගමනින් පැමිණ ලේක්හවුස් වටරවුමේ අවසන් රැළිය පැවැත්වීමට තීරණය කළ  බවයි.

ජනබලය කොළඹට විරෝධතා පා ගමන සඳහා එක්වීමට දිවයිනේ ප්‍රදේශ රැසකින් අද පෙරවරුවේ සිටම ජනතාව ගමන් ආරම්භ කර තිබුණා.

ගම්පහ සහ පුත්තලම දෙසින් පැමිණි ජනතාව මීගමුව මාර්ගය ඔස්සේ පැමිණ කොළඹට ළඟාවුණා.

එමෙන්ම හම්බන්තොට, මාතර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාව බස් රථවලින් අධිවේගී මාර්ගය ඔස්සේ කොට්ටාවට පැමිණ විරෝධතාවට එක්වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

නුවර පාර ඔස්සේ පැමිණි මහනුවර, මාතලේ, කෑගල්ල, නුවරඑළිය, අම්පාර යන දිස්ත්‍රික්කවල ජනතාව බොරැල්ලට පැමිණ ඩී.ආර්. විජේවර්ධන මාවත ඔස්සේ ලේක්හවුස් වටරවුමට ළඟාවුණා.

මීට අමතරව අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල විරෝධතාවට එක්වූ ජනතාව සුගතදාස ක්‍රීඩාංගණය අසළට පැමිණ එම ස්ථානයේ සිට පා ගමනින් ලේක්හවුස් වටරවුමට ළඟාවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම රත්නපුර, මොරණරාගල, සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ජනතාවද අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ පැමිණ යූනියන් පෙදෙස හරහා පා ගමනින් ලේක්හවුස් වටරවුමට පැමිණියා.

මෙම පා ගමන් හේතුවෙන් අද දහවල් කාලයේ සිට කොළඹ නගරයේ මාර්ග රැසක ගමනාගමන කටයුතුවලට බාධා මතුවුණා.

පස්වරු හතර පමණ වනවිට කොටුව, පිටකොටුව අවට මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වූයේ විරෝධතාකරුවන් ලේක්හවුස් වටරවුමට ළඟාවීම හේතුවෙන්.

එසේම අද කොළඹට පැමිණි වාහනවල අඩුවක් දක්නට ලැබුණු අතර, බොහෝ කාර්යාල දහවල් 12 පමණ වනවිට වසා දමා තිබුණා.

එමෙන්ම රජයේ සහ පෞද්ගලික ආයතනවල ඇතැම් සේවකයින් අද රාජකාරියට වාර්තා කර තිබුණේ නැහැ.

පාසල්වලට සිසුන් පැමිණීමේද අඩුවක් දක්නට ලැබුණු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.

දහවල් 12 පමණ වනවිට අදාළ ස්ථාන වෙත රැස්වුණු ඒකාබද්ධ විපක්ෂයේ ආධාරකරුවන් පා ගමනින් ලේක්හවුස් වටරවුම දෙසට ගමන් කිරීම ආරම්භ කළේ පස්වරු 1.30 ට පමණයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් රැසක් පිටකොටුව බෝධිය අසළින් විරෝධතා පා ගමනට එක්වුණා.  

එසේම මහ සංඝ රත්නය ප්‍රමුඛ අනෙකුත් ආගමික පූජකවරුන්, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කලාකරුවන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින්ද ඊට එක්ව සිටියා.

පසුගියදා ජාතික ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන 16 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරු කණ්ඩායමක්ද විරෝධතාවට එක්වූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.   

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම නියෝජනය කරමින් විරෝධතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා ඇතුලූ පිරිසක් එක්ව සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories