ගෝඨාභය ඇතුළු පිරිසට විශේෂ මහාධිකරණයෙන් අධි චෝදනා - ඇප ලැබුනත්, විදෙස් ගමන් තහනම්

Monday, 10 September 2018 - 9:13

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+-+%E0%B6%87%E0%B6%B4+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනා අධි චෝදනා බාර දීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ තංගල්ල - වීරකැටිය - මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිතා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නීතිපතිවරයා පවරා තිබූ නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

ඒ අනුව එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි විනිසුරු මඩුල්ල නියෝග කළේ. 

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට විදෙස් ගමන් තහනම් කළ විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුව ලබන මස 09 වනදා යළිි කැදවන බවද දැනුම් දුන්නා.

මේ අතර අද නඩුව කැදවූ අවස්ථාවේදීයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා කියා සිටියේ මෙම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණයට ඇති බලතල පිළිබඳව මූලික විරෝධතාවක් ගොනු කරන බවයි.

එමෙන්ම මොවුන්ට ඇප ලබාදීමේදී විරෝධයක් ඇත්දැයි විනිසුරු මඩුල්ල නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් විමසීමක් කළා.

නිතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුලූ පිරිස රටේ වගකිවයුතු තනතුරු දරනු ලැබූ පුද්ගලයන් බවයි.

ඒ හේතුවෙන් ඔවුන්ගේ ඇප ඉල්ලීමට විරෝධතාවක් නොදක්වන බව ඔහු ප්‍රකාශ කළා.

තංගල්ල - වීරකැටිය - මැදමුලන ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීම ඇතුලූ පොදු දේපළ පනත යටතට ගැනෙන අධිචෝදනා හතක් යටතේ නීතිපතිවරයා පසුගිය 24 වනදා මෙම නඩුව පවරා තිබුණා.

එහි විත්තිකරුවන්ට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කර තිබුණේ පසුගිය 27 වනදායි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩුව කැදවූ අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණය වෙත පැමිණ සිටි බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර දෙවන විශේෂ මහාධිකරණය පිහිටුවීම සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය හත්වනදා ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව මෙම අධිකරණය ද අලූත්කඬේ අධිකරණ සංකීර්ණයේ ස්ථාපිත කරනු ඇති.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories