ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඩ්

Thursday, 13 September 2018 - 15:33

%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%B1+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමට ලබාදුන් මුදල් සැක කටයුතු 3 වන පාර්ශවයක් වෙත ලබාදීම සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වවුචර් පත් 102 ක් විනාශ කර ඇති බවට සාක්ෂි ලැබී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.

ඒ මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වන නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ අධිකරණයට දැනුම් දුන්නේ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ විධායක නිලධාරියාගේ උපදෙස් මත අදාළ වව්චර්පත් 102 ක් විනාශ කර ඇති බවට සාක්ෂි පවතින බවයි.

මහබැංකු බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කළ ජනාධිපති කොමිසම සක්‍රියව පවතින සමයේදී පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම එම මුදල් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමට ලබාදී ඇති බවද එහිදී හෙළි වුණා.

ඒවා කුමන පාර්ශවයකට ලබාදුන්නේ ද යන්න සම්බන්ධයෙන් නිසියාකාරව විමර්ශන සිදුකරන බවත්, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ අධිකරණය හමුවේ කියා සිටියා.

එකී මුදල් චෙක්පත් 102 අතරින් බහුතරයක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සදහා අවශ්‍ය ලේඛන සහ පරිගණක දත්ත පරීක්ෂා කිරීමට අධිකරණ නියෝගයක් ලබාගෙන ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමට ගිය අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාධා සිදුකර ඇති බව ද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කියා සිටියා.

ඩබ්ලිව්. එම්.මෙන්ඩිස් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කරන සජිත් කළුපතිරණ නමැත්තා මෙලෙස බාධා සිදුකර ඇති බවයි එහිදී හෙලි වුණේ.

කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න, පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ලබන මස 27 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories