සීනි මිලත් ඉහළ දමයි - මුදල් අමාත්‍යාංශයෙන් රතු එළියක්

Wednesday, 19 September 2018 - 15:27

%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රජය ආනයනික සීනි බද්ද රුපියල් 11 කින් ඉහළ දැමීම නිසා  සීනි කිලෝග්‍රෑමයක තොග මිල අද සිට රුපියල් 15 කින් ඉහළ දමන බව සීනි ආනයනකරුවන් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඊයේ සිදුකළ මෙම බදු සංශෝධනය හරහා වෙළඳපොලේ සීනි මිලෙහි වෙනසක් සිදු නොවන බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

එහෙත් සීනි ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති හේමක ප්‍රනාන්දු කියා සිටියේ රජය කවර මතයක් දැරුවද අදාළ බදු ඉහළ දැමීම හරහා සීනි ආනයනය කිරීමේදී අමතර මුදලක් ගෙවීමට තමන්ට සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් එවැනි මිල වැඩිවීමක් සිදුකළහොත් සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට සිදුවනු ඇති බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කළා.

ඒ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් ලබාදී ඇති අතර, එවැනි තත්වයකදී  සීනි ආනයනකරුවන්ට ලබාදී ඇති පහසුකම් සීමා කිරීමටද සිදුවනු ඇති බවයි මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඉන්දියාව, තායිලන්තය, බ්‍රසීලය වැනි සීනි නිෂ්පාදිත රටවල වැඩි නිෂ්පාදනය හේතුවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන සීනිවල මෙතෙක් පැවැති ආනයනික පිරිවැය 1 kg සඳහා රුපියල් 75 සිට රුපියල් 55 ට වඩා අඩුවී ඇති බවයි අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

මෙම මිල අඩුමෙන් දේශීය සීනි නිෂ්පාදකයන්ට අවාසියක් වීම වැළැක්වීම සඳහා සීනි සඳහා පනවා තිබූ රුපියල් 31 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කරමින් ආනයනය කරනු ලබන සීනි සාමාන්‍ය බදු ව්‍යුහය යටතට පත්කර තිබෙනවා.

ඒ අනුව, ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති නව බදු ව්‍යුහය යටතේ තීරු බදු, වරාය ගාස්තු හා ජාතිය ගොඩනැගීමේ බද්ද ආදිය වශයෙන් ආනයනික සීනි 1 kg කට රුපියල් 42 ක පමණ බද්දක් අය කෙරෙනවා.

විවෘත වෙළෙඳපොලෙහි මිල අඩුවීමේ ප්‍රවණතාවය සමග සසඳන විට නව බදු පැනවීමෙන් පසුව වුවද ආනයනකරුවන්හට සීනිවලින් මිල වාසියක් අත්වන බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

එබැවින් මෙම බදු පැනවීම හේතුවක් කරගනිමින් සීනි ආනයනකරුවන් සහ බෙදාහරින්නන් සීනිවල සිල්ලර මිල වැඩිකරන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරනු ඇතැයි අමාත්‍යංශය සිය නිවේදනය මගින් අවදාරණය කර තිබෙනවා.  

සීනි මිල පසුගිය වසර කිහිපයක් තිස්සේ නිරන්තරව අඩුවෙමින් පවතින බැවින් එහි වාසිය පාරිභෝගික ජනතාවට සැලසීමේ අරමුණින් සීනි සඳහා පැවැති උපරිම සිල්ලර මිල ඉවත් කල අතර  අවශ්‍යව වුවහොත් එම උපරිම සිල්ලර මිල යළි පැනවීමට කටයුතු ඇතැයි මුදල් අමාත්‍යංශය කියාසිටියා.

මේ අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් ඉහළ දැමීමටත්, කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක මිල රුපියල් 25 කින් පහළ දැමීමටත් ජීවන වියදම් කමිටුව ඊයේ තීරණය කළා.

මේ අතර තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5 කින් ඉහළ දැමූ නිෂ්පාදන ආයතනවලට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ විධිවිධාන ප්‍රකාරව නීතිමය පියවර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව එම අධිකාරිය ප්‍රකාශ කළා.

එමෙන්ම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල වන රුපියල් 87 ඉක්මවා පිටි අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිවද වැටලීම් සිදුකර නීතිමය පියවර ගන්නා බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

මේ අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් ඉහළ දැමීම සඳහා වන ගැසට් පත්‍රය අද නිකුත් කිරීමට නියමිතයි.

එම මිල ඉහළ දැමීම සඳහා ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමිවූ බව මේ වනවිටත් පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දී ඇති බවයි එම කමිටුව නියෝජනය කරන අමාත්‍ය මහින්ද අමරවීර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.

ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සීග්‍රයෙන් අවප්‍රමාණවීම සැළකිල්ලට ගනිමින් ගෑස් මිල රුපියල් 232 කින් වැඩි කරන ලෙස ගෑස් සමාගම් ජීවන වියදම් කමිටුව වෙත යෝජනාවක් සිදුකර තිබුණා.

ඒ අනුවයි මෙලෙස රුපියල් 195 කින් ගෑස් මිල ඉහළ දැමීමට එම කමිටුවේ අනුමැතිය හිමිවූයේ.

එමෙන්ම කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 25 කින් පහළ දැමීමට ඊයේ පැවති ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමිවුණා.

මේ අතර තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5 කින් ඉහළ දැමූ නිෂ්පාදන ආයතනවලට නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කළා.

කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සමඟ තිරිඟු පිටි මිල සම්බන්ධයෙන් බේකරි හිමියන් අද සාකච්ඡාවකද නිරතවුණා.

එහිදී කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය, රුපියල් 5 කින් පාන් ගෙඩියක මිල අඩුකරන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ ගෑස් සහ සීනි මිල ඉහළ යාම හරහා ආපන ශාලාවල අලෙවි කරනු ලබන ආහාරපානවල මිල ගණන්ද ඉහළ යා හැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories