කථානායක, ජනපති හමුවේ

Wednesday, 31 October 2018 - 19:19

%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කථානායක කරූ ජයසූරිය අතර හමුවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

අද පස්වරු 5 ට පමණ කථානායකවරයා, ජනාධිපතිවරයා හමුවීමට පැමිණි අතර, මේ වනවිට ඔහු ඉන් පිටව ගොස් තිබෙනවා.  

කථානායක කාර්යාලය සඳහන් කළේ කල් තබා ඇති පාර්ලිමේන්තුව කැඳවන ලෙසට එහිදී කථානායක කරූ ජයසූරිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි. ඒ පිළිබඳ සළකා බලා ඉදිරියේදී දැනුම් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළ බව සාකච්ඡාවෙන් අනතුරුව කතානායක කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

එසේම ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ නව අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ අවශ්‍ය පහසුකම් සැළසීමට කටයුතු කරන ලෙසයි.

අදාළ කටයුතු සොයා බලා සිදුකරන බව කථානායක කරූ ජයසූරිය මෙහිදී සඳහන් කළ බව ද හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.  

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත හානා සිංගර් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක්ද ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වුණා.

එහිදී මේ වනවිට රටේ ඇති වී තිබෙන දේශපාලනික තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් ඇයව දැනුම්වත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

රජයේ සියලූ කටයුතු සිදුකර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවද මෙහිදී ජනාධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා.

එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියටද ශ්‍රී ලංකාවට අවශ්‍ය  ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බව එම සංවිධනයේ මෙරට නිත්‍ය නියෝජිතවරිය ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එමෙන්ම, රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අතර හමුවක්ද අද ජනාධිපති මන්දිරයේදී සිදුවුණා.  

නව රජයේ ඉදිරි වැඩකටයුතු වෙනුවෙන් පූර්ණ සහය ලබාදීමට මෙහිදී සියලූ සංවිධායකවරු කැමැත්ත පළ කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සියලූ සහයෝගය සක්‍රියව ලබාදීමට කැපවන බවටද ඔවුන් සහතික වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories