අදත් දිවයින පුරා වැසි - වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 270 මඩකලපුවෙන්

Tuesday, 06 November 2018 - 13:11

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+-+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+270+%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ තිබූ අඩු පීඩන තත්ත්වය මේ වන විට දිවයිනට වඩාත් ආසන්න වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් දිවයින පුරා වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කොළොන්න සහ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට නිකුත් කර තිබූ නාය යාම් අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යාම් සහ ආපදා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස ජනතාවගෙන් ඉල්ලා සිටියේ නාය යාම් ලක්ෂණ දුටු වහාම එම ස්ථානවලින් ඉවත් වීමට කටයුතු කරන ලෙසයි.

එමෙන්ම නානුඔය සහ ඇල්ල අතර ප්‍රදේශයේදී පස් කඩා වැටීම හේතුවෙන් බාධා එල්ල වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, අත්තනගලූඔය - දූනමලේ ප්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

එමෙන්ම, පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම මේ වන විටත් විවෘතව පවතිනවා.

දැදුරුඔයේ වාන් දොරටු 4ක්, තම්බෝව, රාජාංගණය සහ අංගමුව ජලාශවල වාන් දොරටු දෙක බැගින් ද විවෘතව පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.

එමෙන්ම මහවැලි සහ කැළණි ගංඟා භාවිත කරන ජනතාව දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙස ද ඔහු ඉල්ලීමක් කළා.

ගත වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ මඩකලපුව - කිරාන් සහ පාසිකුඩා ප්‍රදේශවලින්. ඒ, මිලිමීටර් 270ක වර්ෂාපතනයක්.

එමෙන්ම සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද යන පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි අද (06) දිනයේත් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories