පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහි පෙත්සම් විභාගය අදත්

Tuesday, 13 November 2018 - 8:20

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (13) යළි සලකා බැලෙනවා.

ඊයේ (12) දිනයේදී පෙත්සම් විභාගය අද උදෑසන 10 දක්වා කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ.

අදාළ පෙත්සම් අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ඇති.   

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙම පෙත්සම් ගොනු කර තිබුණා.

එසේම මැතිවරණ කොමිසම් සභාවේ කොමසාරිස්වරයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම විශේෂත්වයක්.

ඊට අමතරව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නීතීඥ අනුර ලක්සිරි, නීතීඥ ලාල් විජේනායක සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකළා.

ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිෂන් සභාව සහ නීතිපතිවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කිරීමට අමතරව අදාළ පෙත්සම් විභාග කර අවසන් වන තෙක් පාර්ලිමේන්තු මැතිවරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් ඉල්ලා සිටියා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී බවට පෙත්සම්කරුවන් ඊයේ දිනයේදී කරුණු දැක්වූ අතර, අදත් ඊට අදාළ පෙත්සම් සඳහා කරුණු දැක්වීම සිදුවනු ඇති.

ඊයේ උදෑසන ආරම්භවීමට නියමිතව තිබූ පෙත්සම් විභාගය පස්වරු 2 දක්වා කල් තැබුණේ නීතිපතිවරයාට හෝ ඔහුගේ නියෝජිතයෙකුට ඊට සහභාගිවීම සඳහා කාලය ලබාදීමටයි.

ජනාධිපතිවරයාගේ නියෝගයක් වන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට දිනක කාලය අවශ්‍ය බව නීතිපති ජයන්ත ජයසූරිය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ප්‍රකාශ කළා.

එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ අද පෙරවරු 10ට පෙත්සම් විභාගය යළි ආරම්භ කිරීමටයි.

ඒ අනුව නීතිපතිවරයාගේ මතය අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.   

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසම සහ එහි සභාපතිවරයා ඇතුළු පිරිසක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories