කතානායක ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවෙන් පිටව යයි - සභාව 27 වනදාට කල් තැබේ

Friday, 23 November 2018 - 11:28

%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+27+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%9A
කතානායකවරයා සහ ඔහුගේ තීරණ ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව ගියා.

ඒ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සංයුතිය පිළිබඳව කතානායකවරයාගේ තීරණයට විරෝධය දක්වමින්.

මීට පෙර පාර්ලිමේන්තුව රැස්වූ දිනයේ යෝජනා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබූ හෙයින් අද පාර්ලිමේන්තු සභා වාරය පිළිබඳව විශේෂ අවධානයක් යොමුව තිබුණා.

අද පාර්ලිමේන්තුව ආරම්භවීමට පෙර තීරණාත්මක හමු කිහිපයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

ඉන් එක් හමුවක් වූයේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායක රැස්වීමයි.

එහිදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස් පිළිබඳව එකඟතාවකට පැමිණීමට හැකි වූයේ නැහැ.

පසුව කතානායක කාර්යාලය නිවේදනය කළේ පාර්ලිමේන්තුව ආරම්භයේදී තේරීම් කාරක සභාව පිළිබඳව කතානායකවරයාගේ අවසන් ස්ථාවරය දැනුම් දෙන බවයි.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණු අතර, හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමද පැවැත්වුණා.

දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණද පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිය මන්ත්‍රී කණ්ඩායම් හමු වී සාකච්ඡා කර තිබුණා.

පසුව පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වූ අතර, එහිදී කතානායකවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියෝජනය කිරීම සඳහා දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, මහින්ද සමරසිංහ සහ එස්.බී.දිසානායක යන අමාත්‍යවරුන් පස් දෙනා නම් කරනු ලැබුවා.

එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් නම් කරනු ලැබුවේ ලක්ෂ්මන් කිරිඇල්ල, රාවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්, මනෝ ගනේෂන් සහ පාඨලී චම්පික රණවක යන මන්ත්‍රීවරුන්.

එමෙන්ම, දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා සහ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් විජිත හේරත් මන්ත්‍රීවරයා කතානායකවරයා විසින් නම් කළා.

කතානායකවරයාගේ තීන්දුව දැනුම්දීමෙන් පසු සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ කතානායකවරයාගේ ස්ථාවරය පිළිගත නොහැකි බවයි.

ආණ්ඩු පක්ෂය පිළිගැනීමට කතානායකවරයා කටයුතු කළ යුතු බවත්, පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් ආණ්ඩු පක්ෂයට බහුතරය ලබාදිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළා.

එම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කතානායකවරයාගේ අදහස් දැක්වීම අනුමත කරමින් අදහස් දැක්වුවා.

පසුව නැගී සිටි බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාද තේරීම් කාරක සභාවේ සංයුතිය සම්බන්ධයෙන් එල්ල කළේ දැඩි විරෝධයක්.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක නැගී සිටිමින් කතානායකවරයාගේ තීරණය පිළිබඳව අදහස් පළ කළා.

එම අවස්ථාව වනවිට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියළු දෙනා සභාවෙන් ඉවත්ව යාමට කටයුතු කරමින් සිටියා.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේ පාර්ලිමේන්තු කටයුතු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් අවශ්‍ය වන බවයි.

පසුව කතානායකවරයා එම ඡන්ද විමසීම විද්‍යුත් ක්‍රමය යටතේ සිදුකිරීමට තීරණය කළා.

පාර්ලිමේන්තුවේ සීනුව නාද කිරීමෙන් පසු ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වූ අතර, ඒ වනවිට කතානායකවරයාගේ තීරණයට විරෝධය පළ කරමින් සියළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් ඉවත්ව තිබුණා.

අවසානයේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නොමැතිව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාව පිළිබඳ යෝජනාව සම්මත වූ බවයි කතානායකවරයා නිවේදනය කළේ.

සභාවෙන් ඉවත්ව යෑමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ කතානායකවරයාට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයකට යොමුවීමට සූදානම් වන බවයි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව එළැඹෙන 27 වැනිදාට සහ 29 වැනිදාට කල් තැබූ අතර, මේ වනවිටත් සභාවේ කල් තැබීමේ යෝජනාවක් විවාදයට ලක් වෙමින් පවතිනවා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories