Update : 19 න් කප්පාදු වුණේ ජනපතිගේ බලතල නොව, පාර්ලිමේන්තු බලතලයි - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

Wednesday, 05 December 2018 - 16:21

Update+%3A++19+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%BD+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ බලතල නොව, පාර්ලිමේන්තුවේ බලතල කප්පාදුවක් සිදුව ඇති බවට නීතිපති ජයන්ත ජයසූරිය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඒ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් දෙවන දිනටත් අද විභාග කළ අවස්ථාවේදියි.

නීතිපතිවරයාගේ කරුණු දැක්වීම්වලින් අනතුරුව අතරමැදි පාර්ශවයන්ගේ කරුණු දැක්වීම් ආරම්භ වූ අතර, අද පස්වරුවේ යළි පෙත්සම් විභාගය හෙට දක්වා කල් දැමුණා.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැය කිහිපයක් තම කරුණු දැක්වීම් සිදුකළ නීතිපතිවරයා, ව්‍යවස්ථාවේ 70 වන වගන්තිය උපුටා දක්වමින් සඳහන් කළේ ‘‘වසර හතර හමාරක් ගතවනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බවට’’ සඳහන් එම වගන්තිය පාර්ලිමේන්තුවට අදාළ වගන්තියක් බවයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර හතරහමාරක් ගතවනතුරු තමන් විසින්ම සකස් කරගත් යෝජනාවක් මගින් හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි වන ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් නියම කර ඇති බව නීතිපතිවරයා පෙන්වා දුන්නා.

ජනාධිපතිවරයාගේ බලතල නොව පාර්ලිමේන්තුවේ බලතල තමන් විසින්ම කප්පාදු කරගැනීමක් 19 වන සංශෝධනය හරහා සිදුකර ඇති බව එහිදී නීතිපතිවරයා සඳහන් කළා.

ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවේ තිස්තුන දෙක වගන්තිය යටතේ පැහැදිළිවම  ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ලබාදී ඇති බවද එහිදී නීතිපති ජයන්ත ජයසූරිය පෙන්වා දුන්නා.

එම කරුණු දැක්වීමෙන් අනතුරුව ගොනුකර තිබූ අතරමැදි පෙත්සම් පහ වෙනුවෙන් නීතීඥවරුන් කරුණු දැක්වීම  ආරම්භ කළා.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජය ජයවර්ධන ව්‍යවස්ථාවේ හැට දෙක, දෙක වගන්තිය උපුටා දැක්වූවා.

එහි සඳහන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකියි.

යන වගන්තිය, ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් අර්ථ දෙකක් නිරූපණය කරන බව ඔහු එහිදී පෙන්වා දුන්නා.

රටේ නීතිය සිංහල භාෂාවෙන් පිළිගන්නා බව දැක්වූ ජනාධිපති නීතීඥවරයා ව්‍යවස්ථාවේ හැට දෙක, දෙක යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු බව සඳහන් කළා.

එම තර්කය විනිසුරු මඩුල්ලේ දැඩි කථාබහට ලක්වූ බවයි එහි සිටි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

විශේෂයෙන්ම එම තර්කය පැහැදිළි කරගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන කිහිපවරක්ම ප්‍රශ්න යොමු කරමින් විමසා ඇත්තේ ජනාධිපතිවරයාට එලෙස පාර්ලිමේන්තුව විසුරුවීමේ හැකියාවක් පවතීද යන්නයි.

ඊට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති නීතීඥ සංජය ජයවර්ධන කියා සිටියේ එම වගන්තිය අනුව ජනාධිපතිවරයාට ඊට අදාළ පූර්ණ බලතල ලබාදී ඇති බවයි.

එය වෙනත් වගන්තියකට යටත් නොවන බවද ඔහු අවධාරණය කළා.

අනතුරුව නඩු විභාගය හෙට දිනය දක්වා කල් තැබුණු අතර, හෙට දිනයේදී අතරමැදි පාර්ශව හතරක් කරුණු දැක්වීමට නියමිතයි.

එම කරුණු දැක්වීමෙන් අනතුරුව පෙත්සම් පාර්ශවයට යළි ප්‍රති පිළිතුරු දැක්වීමේ අවස්ථාව හිමිවන අතර, පසුව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලබාදීම සඳහා දින නියම කරනු ඇති.

මේ පෙත්සම් විභාගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නීතීඥ ප්‍රේමනාත් සී දොළවත්ත ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සිදුකර ඇත්තේ රාජ්‍ය පාලනයට අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගැනීම පමණක් බවයි.

Update : Wednesday, December 5, 2018 04,31PM
---------------------------------------------------------

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් විභාගයට අදාළව නීතිපතිවරයාගේ කරුණු දැක්වීම මේ වනවිට අවසන් වී තිබෙනවා.

එහිදී නීතිපති ජයන්ත ජයසූරිය කියා සිටියේ ජනපති තීන්දුවට එරෙහිව පෙත්සම් විභාගය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි.

මේ වනවිට අතරමැදි පෙත්සම්වල නීතීඥවරුන් කරුණු දැක්වීම ආරම්භ කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

අද පෙරවරු 10 ට පමණ මෙම පෙත්සම විභාගය ආරම්භ කෙරුණේ අගවිනිසුරු ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories