පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම්වල තීන්දුව පස්වරු 4ට

Thursday, 13 December 2018 - 10:19

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94+4%E0%B6%A7
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දහයේ තීන්දුව අද පස්වරු 4 ට ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් ප්‍රදීප් මුතුගල ප්‍රකාශ කළා.

පෙත්සම් විභාගයට ගත් සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊට අදාළ තීන්දුව ලබාදීමට නියමිත බවයි ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවියේ ද දැක්වෙන්නේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 ක් ගොනු කෙරුණු අතර, ඉන් විභාග කෙරුණේ 10 ක් පමණයි.

පසුව ඊට අතරමැදි පෙත්සම් කිහිපයක් ද ඉදිරිපත්ව තිබුණා. පසුගිය 04 වනදා සිට 7 වනදා දක්වා දින 04ක් පුරා මෙම පෙත්සම් විභාගය සිදුකළ අතර පසුගිය සිකුරාදා අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රකාශ කළේ පෙත්සම් සම්බන්ධයෙන් තීරණය ඉදිරි දිනකදී ප්‍රකාශයට පත් කරන බවයි.

තීන්දුව ලබාදෙන තුරු ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් මස 09 වනදායි.

ඊට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබූ අතර ඊට මැදිහත්කරුවන් වීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් තවත් පාර්ශව කිහිපයක් අතමැදි පෙත්සම් ගොනු කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.

පසුව මෙම පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පසුගිය නොවැම්බර් මස 26 වනදා පත් කරනු ලැබුවා.

අගවිනිසුරුවරයාට අමතරව ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෲ, බුවනෙක අළුවිහාරේ, විජිත් මලල්ගොඩ සහ මූර්දු ප්‍රනාන්දු මෙම පෙත්සම් විභාගයේ සෙසු විනිසුරුවරුන් ලෙස කටයුතු කළා.

ඒ අනුව පෙත්සම් විභාගය පසුගිය 04 වනදා ආරම්භ කළ අතර නීතිපතිවරයා ද මේ සම්බන්ධයෙන් කරුණු දක්වනු ලැබුවා.

ඉන් අනතුරුවයි පසුගිය සිකුරාදා අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රකාශ කළේ මෙම පෙත්සම්වල තීන්දුව ඉදිරි දිනකදී ප්‍රකාශයට පත් කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories