අගමැතිට සහ ඇමති මණ්ඩලයට එරෙහි අතුරු තහනම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත් නොකරයි - පෙත්සම විභාගයට ගැනීමටත් තීරණයක්

Friday, 14 December 2018 - 17:50

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අගමැතිවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම වෙනස් නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ඒකමතිකව තීරණය කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් එම තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය, ඊවා වනසුන්දර, බුවනෙක අලූවිහාරේ, විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද සලකා බැලූණු අවස්ථාවේදියි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

කෙසේ වෙතත්, අදාළ අභියාචනය ලබන වසරේ ජනවාරි 16, 17 සහ 18 යන දිනවලදී විභාගයට ගැනීමට විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් තීරණය කළා.

එහෙත්, විනිසුරු විජිත් මලල්ගොඩ ඊට විරෝධය පළ කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

අද පෙරවරුවේ මෙම පෙත්සම් විභාගය ආරම්භ කළ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කර තිබූ අතර, පෙත්සම් විභාගය දැක ගැනීම සඳහා දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය වෙත පැමිණියා.

ඊයේ දිනයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥයින් විසින් මෝසම් දෙකක් ගොනු කර තිබුණා.

එමගින් ඔවුන් ඉල්ලා තිබුණේ පෙත්සම් සලකා බැලීමට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස සහ අදාළ විනිසුරු මඩුල්ලට ඊවා වනසුන්දර විනිසුරුවරිය එක් නොකරන ලෙසයි.

මෝසම සම්බන්ධයෙන් කරුණු දක්වමින් වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥයින් අද දිනයේ අධිකරණයේ ද කරුණු දැක්වූ අතර, එහිදී ඔවුන් කියා සිටියේ ඊවා වනසුන්දර විනිසුරුවරිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම මිතුරෙකු බවට පුවත්පතකට කළ ප්‍රකාශයක් හේතුවෙන් මෙම ඉල්ලීම සිදුකරන බවයි.

ඇය ඇතුළත් විනිසුරු මඩුල්ලක් පෙත්සම සලකා බැලීමේදී ලබැදියාවන් අතර ඝට්ටනයක් ඇති විය හැකි බැවින් එය තීන්දුවට බලපෑමක් කළ හැකි බව ඔවුන් සඳහන් කළා.

එම විරෝධතා සැලකිල්ලට ගනිමින් ඊවා වනසුන්දර විනිසුරුවරිය කියා සිටියේ විරෝධතා සැලකිල්ලට ගන්නා ලෙස අද පෙරවරුවේ අගවිනිසුරුවරයා තමන්ට ප්‍රකාශ කිරීම නිසා ඒවා සැලකිල්ලට ගත් බවයි.

කෙසේ වෙතත්, මූලික විරෝධතා නොසලකා හරිමින් මෙම පෙත්සම් සලකා බැලීමට තීරණය කළ බව විනිසුරු ඊවා වනසුන්දර සඳහන් කළා.

එහිදී ඇය කියා සිටියේ සිය වසර 39ක රාජ්‍ය සේවා කාලය අදින් අවසන් වන බවත්, තමා පුද්ගලයින්ගේ මුහුණු බලා තීන්දු ලබා නොදෙන බවයි.

අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පෙත්සම්කරුවන්ගේ ජනාධිපති නීතිඥවරුන්ට කරුණු දැක්වීමට අවස්ථාව හිමි වුණා.

එහිදී හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයේ නීතිඥවරුන් මෝසමක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ අදාළ පෙත්සම් සලකා බැලීමට පූර්ණ විනිසුරු මඩුල්ලක් අවශ්‍ය නොවන බවයි.

ඒ අනුව වගඋත්තරකාර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ශවයේ ඉල්ලීම ඉවත දැමූ විනිසුරු මඩුල්ල තීරණය කළේ ඊවා වනසුන්දර ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේම පෙත්සම විභාගයට ගැනීමටයි.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරුන් වන ගාමිණී මාරපන සහ රොමේෂ් ද සිල්වා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට සිය ධුර දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම තර්කානුකූල නොවන බව කිසිදු පදනමකින් තොර වැරදි තීරණයක් බවයි.

එය කොළයක ලිවීමට තරම්වත් නොවටිනා එකක් බව එම නීතිඥවරුන් ප්‍රකාශ කළා.

එම නියෝගය මගින් පාර්ලිමේන්තුවේ විශ්වාසභංග දෙකක් සම්මත වී ඇති බවට සදහන් වුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නොමැති බව නීතිඥයින් සඳහන් කළා.

හැන්සාඩ් වාර්තාවේ ඒ බව සදහන් වන්නේ දැයි විනිසුරු බුවනෙක අලූවිහාරේ එහිදී විමසා සිටියා.

විශ්වාසභංගය සම්මත වූ බවට සදහනක් නොමැති බවත්, පාර්ලිමේන්තුවේ පටිගත වූ නිළ වීඩියෝවේ දර්ශනවලත් එවැන්නක් සටහන් වී නොමැති බවත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් කියා සිටියා.

එසේම අභියාචනාධිකරණය දුන් අතුරු තහනම නිසා එම ධුරවලට වෙනත් පුද්ගලයින් පත් කිරීමේ හැකියාවක් නොමැති බවයි නීතිඥයින් තර්ක කළේ.

ඔවුන් ඉල්ලා සිටියේ මේ වන විට රටේ සැබෑ ලෙසම ආණ්ඩුවක් නොමැති තත්ත්වයක් තුළ අර්බුදයක් නිර්මාණය වී ඇති නිසා අධිකරණ නිවාඩු සමයෙන් අනතුරුව මීළඟට අධිකරණ කටයුතු ආරම්භ වන ජනවාරි මාසය දක්වා මෙම අර්බුදය පවත්වාගෙන යාමට ඉඩ නොදිය යුතු බවයි.

එම නිසා අතුරු තහනම් නියෝගය තහනම් කර හිටපු ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍ය ධුරය සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුරවල කටයුතු කිරීමට අවශ්‍ය නෛතික තත්ත්වය ඇති කරන ලෙසයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයින් ප්‍රකාශ කළේ.

අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු වගඋත්තරකරුවන්ගේ නීතිඥවරුන් අදහස් දැක්වීම ආරම්භ කළ අතර ඔවුන් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු ක්‍රියාවලීන් සම්බන්ධයෙන් අධිකරණයට විනිශ්චයක් ලබාදිය නොහැකි බවයි.

ව්‍යවස්ථාවට අනුව හැන්සාඩ් වාර්තාව අභිබවා කටයුතු කිරීමට ඊට හැකියාවක් නොමැති බව ද වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥයන් පෙන්වා දුන්නා.

පෙත්සම අනුව අතුරු තහනම ඉවත් කළහොත් එය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංගණය කිරීමක් ලෙසයි ඔවුන් හැදින්වූයේ.

පාර්ලිමේන්තුවේ ක්‍රියාවලීන් සම්බන්ධයෙන් අවසන් විනිශ්චය පවතින්නේ කථානායකවරයා අත බව ඔවුන් පෙන්වා දුන්නා.

අභියාචනාධිකරණය පසුගිය 3 වන දා අගමැතිවරයාට සහ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු වළක්වාලමින් මෙම අතුරු තහනම නිකුත් කළේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනෙකු ක්වො වොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.

එම අතුරු තහනම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඊට පසුදින එනම් පසුගිය 4 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්ෂ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරනු ලැබුවා.

එය පසුගිය 12 වන දා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙනිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදී එය අද දිනයේ සලකා බැලීමටයි නියෝග කෙරුණේ.

එසේම මෙදිනම මෙම පෙත්සම මගින් අභියෝග කර ඇති අතුරු තහනම් නියෝගය ලබාදුන් පෙත්සම ද අභියාචනාධිකරණයේදී කැදවූ අතර එහි සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර නියෝග කළේ මෙම පෙත්සම ලබන වසරේ ජනවාරි 16, 17 සහ 18 යන දිනවලදී විභාගයට ගැනීමටයි.

කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවය ගොනු කළ පෙත්සම් විභාග කරන තුරු අභියාචනාධිකරණය මගින් මීට අදාළ පෙත්සම විභාග කිරීම අත්හිටුවීමටත් නියෝග කළ බවයි අධිකරණ සංකීර්ණයේ රැදී සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories