අගමැති දිවුරුම් දීමෙන් පසු, පාර්ලිමේන්තුව අද ප්‍රථම වරට රැස්වෙයි

Tuesday, 18 December 2018 - 7:26

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) දිනයේදී දිවුරුම් දෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ නව කැබිනට් මණ්ඩලය විද්‍යානුකූල පදනමකින් පත් කරනු ඇති බවයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අමාත්‍ය මණ්ඩලයේ මුළු කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 30 නොඉක්ම විය යුතු වනවා.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කැබිනට් නොවන සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව ලෙස සදහන් වන්නේ 40ක්.

කෙසේ වෙතත්, ජාතික ආණ්ඩුවක් තුළ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30 ඉක්මවා යා හැකි වන අතර, 2015 මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව ගොඩ නැගූ ජාතික ආණ්ඩුව තුළ කැබිනට් අමාත්‍යවරුන් 40 දෙනෙකු දිවුරුම් දෙනු ලැබුවා.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යළි අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අද (18) ප්‍රථම වරට පාර්ලිමේන්තුව රැස් වනවා.

පස්වරු 1ට පාර්ලිමේන්තුව රැස් වන අතර, ඒ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ද ඊයේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී නව කැබිනට් මණ්ඩලය මෙතෙක් දිවුරුම් දී නොමැති නිසා ජ්‍යෙෂ්ඨත්වය අනුව අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීමට තීරණය කළා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාට හිමි ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ 7 වන අසුන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත වෙන් කර ඇති අතර, කථානායකවරයාගේ වම් පස විපක්ෂයටත් දකුණු පස ආණ්ඩු පක්ෂයටත් වෙන් කර තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුව වර්ජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද (18) දිනයේදී පාර්ලිමේන්තු සභා වාරයට සහභාගි වනු ඇති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම අද පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට මධ්‍යහ්න 12 ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වෙනු ඇති.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය පිළිබඳව එහිදී යම් එකඟතාවයකට පැමිණීමට නියමිතයි.

එසේම පාර්ලිමේන්තුවේ ඇති වූ කලහකාරී සිද්ධියෙන් පසුව තාවකාලිකව වසා දැමූ පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ අමුත්තන්ගේ ගැලරිය ද යම් යම් කොන්දේසි වලට යටත්ව අද සිට යළි විවෘත කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කළ බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළා.

මේ අතර, පසුගිය දා පාර්ලිමේන්තුවේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුව අවශ්‍ය ආරක්ෂක කැමරා දර්ශන පරික්ෂා කිරීමේ කටයුතු අද  (18) සිට ආරම්භ කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories