වැස්සෙන් උතුරට දැඩි බලපෑම්

Saturday, 22 December 2018 - 18:53

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A
කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 9 ක පුද්ගලයින් 9161 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.

මේ අතර, උතුරු පළාතේ පවතින ඉතා තද වැසි තත්ත්වය හෙට සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙම අයහපත් කාලගුණ තත්ත්වය හට ගත් බවයි.

අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 365.01 වව්නියාව, මාන්කුලම් ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මීට අමතරව, ඔඩ්ඩුසුඩාන්, කිලිනොච්චිය, අලිමංකඩ ඇතුළු ප්‍රදේශවලින් ද ඉතා තද වැසි වාර්තා වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එසේම, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්ක වලට ඊයේ රාත්‍රියේ ඇද හැලූණු දැඩි වර්ෂාව හේතුවෙන් ජල ගැලීම් තත්ත්වයක් හට ගෙන තිබුණා.

මාන්කුලම් ප්‍රදේශයේ වැවක් කැඩී යාමෙන් ඒ - 9 මාර්ගයේ ධාවන කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ විශාලතම ජලාශය වන ඉරණමඩු ජලාශය ඇතුළු ප්‍රධාන වැව් කිහිපයක් වාන් දැමීමත් සමග පහළ ප්‍රදේශවල තවදුරටත් ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

ඉරණමඩු ජලාශයේ ජල මට්ටම අඩි 38 ක් දක්වා ඉහළ යාම නිසා එහි වාන්දොරටු සියල්ලම මේ වනවිටත් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.

මේ අතර, විල්පත්තු වනෝද්‍යානය මැදින් යාපනය දක්වා ගමන් කළ පිරිසක් බස් රථය මඩේ එරීම නිසා ඊයේ අනතුරට ලක්ව තිබෙනවා.

පසුව, පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය, යුද හමුදාව සහ නාවික හමුදාව එක්ව 68 දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස මුදා ගෙන තිබුණා.

එම අවස්ථාව වනවිටත් එළුවන්කුලම - සපත්තු පාලමේ ජල මට්ටම ඉහළ ගොස් ඔවුන් මුදා ගැනීමට අවදානම් තත්ත්වයක් පැවති බවයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළේ.

මෙම පිරිස රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories