උතුරේ ජල ගැල්මෙන් 45,000 කට පීඩා - ගුවන් හමුදා යානා 2 කින් නිරීක්ෂණ

Sunday, 23 December 2018 - 12:45

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+45%2C000+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+-+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+2+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
උතුර පළාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් පුද්ගලයින්ට කඩිනමින් සහන සළසන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.

ගං වතුර තර්ජනය පහව යන තෙක් එම ප්‍රදේශවල සියලූ පුද්ගලයින්ට අවශ්‍ය සියලූ පහසුකම් නොපමාව සළසන ලෙසත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින ලෙසත් අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම උතුර පළාත් ආණ්ඩුකාරවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්, යුද හමුදාපතිවරයා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව අදාළ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසටයි ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ.

මේ අතර කිලිනොච්චි ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ගුවන් හමුදාව විසින් යානා දෙකක් යොදවා තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් සහ වයි 12 වර්ගයේ ගුවන් යානයක් අදාළ ප්‍රදේශවල නිරික්ෂණ කටයුතු සිදුකරන බවයි.

මේ අතර උතුර පළාතේ කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 44,959 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ප්‍රකාශ කළා.

කිලිනොච්චි දිස්ත්‍රික්කයට ඇද හැලූනු වර්ෂාවත් සමඟ මේ වනවිට පවුල් 9,475 කට අයත් පුද්ගලයින් 31,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි කිලිනොච්චි දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

එම දිස්ත්‍රික්කයේ අවතැන් කඳවුරු 26 ක මේ වනවිට පවුල් 1394 කට අයත් පුද්ගලයින් 4649 ක් රඳවා සිටිනවා.

සමස්තයක් ලෙස උතුර පළාතේ ආරක්ෂිත ස්ථාන 52 ක පවුල් 2661 කට අයත් පුද්ගලයින් 8539 ක් රඳවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.  

එමෙන්ම පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 3794 කට අයත් පුද්ගලයින් 12,651 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.  

එමෙන්ම පැවති අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයකද වාන් දොරටු විවෘත කර තිබෙනවා. ඒ අනුව ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14 ක් විවෘත කර ඇති අතර, කිලිනොච්චියේ මුත්තියන්කඞ්ඩු ජලාශයේ වාන් දොරටු 2 ක් විවෘත කර තිබෙනවා. එමෙන්ම අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක්ද, රාජාංගණය ජලාශයේ සහ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4 බැගින්ද විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

මේ අතර පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ කිලිනොච්චි - කට්ටකාඩුව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පෙරේදා පස්වරුවේ පැවති අධික වර්ෂාවත් සමඟ අදාළ පුද්ගලයා මාර්ගය ආසන්නයේ පාලූ නිවසකට ගොස් ඇති අතර, එහිදී විදුලි සැර වැදීමක් හේතුවෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි කිලිනොච්චි පොලීසිය පොලීසිය සඳහන් කළේ.

මේ අතර පැවති වර්ෂාවත් සමඟ මහනුවර - ගඟබඩ - උඩුගම්පල ප්‍රදේශයේ පවුල් 85 ක්ද පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. මුලතිව් - ත්‍රිකුණාමලය මාර්ගයේ සපත්තු පාලම ආසන්නයේ ගං වතුර තත්ත්වය තවදුරටත් පැවතීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය මේ වනවිටත් අඩාල වී තිබෙනවා.

එමෙන්ම පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ ඒ.එම්. ආර්.එම්.කේ. අලහකෝන් කියා සිටියේ පරණ මන්නාරම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා ඇති බවයි. ඊට හේතුව ජලාශවල වාන් දොරටු විවාත කිරීම බවයි ඔහු කියා සිටියේ.

මීට අමතරව නායයෑමේ අවදානම් පැවතිය හැකි ප්‍රදේශ පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරලයේ සහ තුන්පනේ ප්‍රදේශ ආශ්‍රිත ජනතාව නායයෑමේ, බෑවුම් කඩාවැටීමේ, ගල් පෙරළීමේ සහ පස් කණ්ඩි කඩාවැටීම පිළිබඳව විමසිලිමත්ව සිටිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories