ශ්‍රී ලංකා සහ පිලිපීන ජනපතිවරුන් හමුවෙයි

Wednesday, 16 January 2019 - 17:41

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ටි අතර හමුවක් අද පස්වරුවේ සිදු වුනා.

ඒ පිලිපීන ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස්හිදීයි.

දෙරට අතර ආර්ථික සහ වෙළෙද සබදතා නව ක්ෂේත්‍ර ඔස්සේ යළි පණ ගැන්වීම සදහා ආර්ථික කවුන්සිලයක් පිහිටුවා ගැනීම පිළිබද මෙහිදී දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

රාජ්‍ය සංචාරය වෙනුවෙන් තමාට සිදුකළ මෙම ආරාධනය පිළිබද මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා  පිලිපීන ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළා.

පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ටි මෙහිදී කියා සිටියේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතාවල ඓතිහාසික අවස්ථාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මෙම සංචාරයත් සමග සනිටුහන් වනු ඇති බවයි.

දෙරටටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් දෙරට අතර සබදතා ශක්තිමත් කර ගැනීම පිළිබද මෙහිදී නායකයන් පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.

එම කටයුතු ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම සදහා පිලිපීන තානාපති කාර්යාලයක් කොළඹ නගරයේ ස්ථාපිත කිරීමට ද අවධානය යොමු වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.  

දෙරට අතර ආර්ථික සහ වෙළෙද කටයුතු ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ආර්ථික කවුන්සිලයක් පිහිටුවා ගැනීම පිළිබදව ද රාජ්‍ය නායකයන් දෙපළ සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම දෙරට අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහයෝගිතාවය ඉහළ නංවා ගැනීම පිළිබද විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, කෘෂිකාර්මික තාක්ෂණික පුහුණු කටයුතුවලදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බවයි පිලිපීන ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ.

දෙරට අතර අධ්‍යාපන සහ සංචාරක ක්ෂේත්‍රයේ සබදතා ඉහළ නංවා ගැනීමේ වැදගත්කමත්, ආපදා කළමණාකරණ කටයුතුවලදී ද සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබදවත් සාකච්ඡා කෙරුනා.

දෙරට අතර ගුවන්ගමන් සේවා වැඩිදියුණු කර ගැනීම පිළිබදව ද ජනාධිපතිවරුන් දෙපළගේ අවධානය යොමු වූ අතර ඒ පිළිබද සොයා බැලීමට ලබන මාර්තු මාසයේ දී පිලිපීන නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවන බව පිලිපීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී සඳහන් කර ඇත්තේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැප ව සිටින අතර ඊට පුළුල් වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාවට නංවා ඇති බවයි.

එහි දී දෙරටට සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව පවතින බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වාදී තිබෙනවා.
 
එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මැඩලීම වෙනුවෙන් කැපවීමේ වැදගත්කම නායකයන්ගේ සාකච්ඡාවට ලක්වු තවත් කරුණක්.

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පිලීපන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට්ගේ කැපවීම ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඇගයීමට ලක්වුනා.

ඒ පිළිබද ජාත්‍යන්තරයේම අවධානය යොමුව ඇති බවයි ඔහු සඳහන් කළේ.  

කලාපයේ මත්ද්‍රව්‍ය හුවමාරුව නතර කිරීමට පිලිපීන ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්වු අතර මිනිස් ජාවාරම මැඩලීම සහ කලාපයේ ආරක්ෂක කටයුතුවලදී සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වාදී තිබෙනවා.

කලාපයේ රටවල් ලෙස එල්ල වී ඇති සියලූ අභියෝග ජය ගැනීමේ දී සාමුහිකව කටයුතු කිරීමේ වැදගත්ම පැහැදිළි කළ මෛත්‍රීපාල සිරිසේන මහතා මනා අවබෝධයකින් යුතුව ශ්‍රී ලංකා - පිලිපීන සබදතා දෙරටේම යහපත වෙනුවෙන් ඉදිරියේදී වඩාත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම ද අවධාරණය කර තිබෙනවා.  

රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව දෙරට අතර නව අවබෝධතා ගිවිසුම් 05කට ද අත්සන් තබා තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ පිලපීනය අතර ආර්ථික, සංචාරක, කෘෂිකර්ම සහ අධ්‍යාපන සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද අත්සන් තැබුණු මෙම නව අවබෝධතා ගිවිසුම් සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිි අරුණි රණරාජා අත්සන් තැබු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මේ අතර පිලිපීන ජාතික වීරයන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පරවරුවේ එක්වුනා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories