මධුෂ් මෙහෙය වූ කොල්ලයේ කෝටි 500 දියමන්තිය, හිමිකරුත් හඳුනා ගනී

Tuesday, 05 March 2019 - 12:24

%E0%B6%B8%E0%B6%B0%E0%B7%94%E0%B7%82%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+500+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
පන්නිපිටිය - ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද රුපියල් කෝටි 500ක් පමණ වටිනා නිල් දියමන්තිය සමග අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජිකයෙකු වන කැළුම් ඉන්දික හෙවත් කැලූමා අධිකරණ නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.

පසුගිය වසරේ නොවැම්බර් 05  වනදා පොලිස් ඇදුමින් සැරසී පැමිණි පිරිසක් ගිනි අවි පෙන්වා පන්නිපිටිය - ඇරැව්වල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් මෙම දියමන්තිය පැහැර ගෙන ගොස් තිබුණා.

පසුව ව්‍යාපාරිකයා මිරිහාන පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකළ අතර ඒ අනුවයි මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය සහ පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවේ.

ඒ අනුව මෙම දියමන්ති කොල්ලයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පෑලියගොඩදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 01 වනදායි.

ඉන් එක් අයෙකු රණාල - කුරුදුවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර, අනෙක් සැකකරු මාකඳුරේ මධුෂ්ගේ ඥාතියෙකු වන කඩුවෙල - වැලිහිද ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයෙක්.

මොවුන් දෙදෙනාම 28 හැවිරිදි වියේ පසුවනවා.

සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත ඊයේ රාත්‍රීයේදී පානදුර - කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසක සිටියදී මෙම කොල්ලයේ මහා මොළකරු වන 40 හැවිරිදි පාතාල කල්ලි සාමාජික කැළුම් ඉන්දික හෙවත් කැලූමා  කොල්ලකන ලද දියමන්තිය සමඟ පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

එහිදී පොලීසිය සැකකරු සතුව තිබු මුදලින් රුපියල් කෝටි එක හමාරක් ද සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.

පසුව මෙම දියමන්තියේ හිමිකාර ව්‍යාපාරිකයා පැමිණ එය කොල්ලකන ලද දියමන්තිය බවටම හදුනාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ දැනට ඩුබායි හි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සැලසුමකට අනුව කණ්ඩායම් දෙකක් යොදා ගෙන මෙම දියමන්ති කොල්ලය කැලූමා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

එහිදි එක් කණ්ඩායමක් පොලිස් ඇදුමින් ගොස් ව්‍යාපාරිකයාගෙන් දියමන්තිය කොල්ලකා කැළුම් ඉන්දික නමැති පාතාල සාමාජිකයාට ලබා දී ඇති අතර, පසුව ඔහු අනෙක් කණ්ඩායම සමග දියමන්තිය රැගෙන ගොස් ඇත්තේ කුලී පදනම මත ලබා ගත් පානදුර ප්‍රදේශයේ පිහිටි නිවසටයි.

මොහුගේ මුල් පදිංචිය ඇල්පිටිය පිටිගල ප්‍රදේශයේ බවට ද අනාවරණය වී තිබෙනවා.

පාතාල නායක මධුෂ් බස් රථ කොන්දොස්තරවරයෙකු ලෙස රැකියාව කරන සමයේ කැළුම් ඉන්දික නැමැත්තා එම බස්රථවල රියදුරු ලෙස කටයුතු කර ඇති බවටද තොරතුරු වාර්තා වුණා.

එහිදී ඇති කර ගත් දැන හැදුනුම්කම් මත මොවුන් එක්ව කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස සිදු කරනු ලැබූ මුදල් කොල්ලයකට අත්අඩංගුවට ගත් කැළුම් ඉන්දික බන්ධනාගාර ගත කරනු ලැබූ අතර ඒ අනුව ඔහු 2005 වසරේ සිට 2015 වසර දක්වා බන්ධනාගාරයේ පසුවුණා.

එහිදී ද මොහු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බව පොලිසිය සඳහන් කළා.

බන්ධනාගාරයෙන් නිදහස ලැබූ මොහු පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග එක්ව දිර්ඝ කාලයක් මත්ද්‍රව්‍ය ජාවරම් සිදු කර තිබෙනවා.

පසුව මධුෂ් ඩුබායි වෙත පළා ගිය පසු ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම ශ්‍රී ලංකාවේ සිට මෙහෙයවා ඇත්තේ කැළුම් ඉන්දික හෙවත් කැළුමා විසිනුයි.

මේ අතර, මධූෂ්ගේ පියාගේ අවසන් කටයුතු සියල්ල මොහු විසින් සිදුකර ඇති අතර එහි විඞීයෝ දර්ශණ පසුව ඔහු වෙත යවා ඇත්තේ ද කැළුමා විසින් බවට විමර්ශණවලදී අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මෙම අවමංගල්‍ය උත්සවයේදී ගුවනින් මල් ඉසීම සඳහා ව්‍යාජ නමකින් පෙනී සිටිමින් මොහු මුදල් ගෙවා හෙලිකොප්ටරයක් කුලී පදනම මත මිලට ගෙන ඇති බවද සඳහන්.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව උපයාගත් මුදල් වලින් කෝටිපතියෙකු වූ මොහු ඇල්පිටිය - පිටිගල ප්‍රදේශයේ විහාරස්ථානයක චෛත්‍යයක් සහ විහාර මන්දිරයක් ද ඉදිකර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. මේ අතර, ඔහු සිය ධනය වැය කර තමන් පදිංචි පිටිගල ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතු වල මෙන්ම පාලම් ඉදිකර දී ඇති බවද සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories