අයවැයෙන් ජුලි මාසයේ සිට රජයේ සේවකයින්ට රුපියල් 2500ක දීමනාවක් - අලූත බඳින අයට නිවාස ණය - දුම්වැටි, මත්පැන් මිල සහ වාහන රැසක බදු ඉහළට

Tuesday, 05 March 2019 - 19:19

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+2500%E0%B6%9A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B3%E0%B7%92%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%AB%E0%B6%BA+-+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92%2C+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
2019 වසර සඳහා වන අයවැය  මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඊට පෙරවරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද හිමිවූ අතර, මුදල් අමාත්‍යවරයා අයවැය කියවීම ආරම්භ කළේ පස්වරු 2.04 ට පමණයි.  

පැය දෙකකුත් විනාඩි 16 ක කාලයක් ඔහු සිය අයවැය කථාව සිදුකළා.

ඒ අනුව 2019 අයවැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ ආණ්ඩු වෙනස පැවති කාලසීමාවේදී ආර්ථිකයේ බිඳ වැටීමක් සිදුවූ නමුත් මේ වනවිට එය යථා තත්ත්වයට පත් කිරිමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

මෙවර අයවැයෙන් ගම්පෙරළිය වැඩසටහන සඳහා රුපියල් මිලියන 48,000 ක මුදලක් වෙන් කර ඇති බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළා.  

එළඹෙන ජූලි මස 01 වනදා සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපට රුපියල් 2,500 ක දීමනාවක් එක් කිරීමට කටයුතු කර ඇති බවයි මුදල් අමාත්‍යවරයා කියා සිටියේ.

විශ්‍රාම වැටුප් විෂමතා සංශෝධනය කිරීම සඳහා මිලියන 12,000 ක මුදලක්ද මෙවර අයවැයෙන් වෙන් කර ඇති බව ඔහු කියා සිටියා.   

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ කමන්ඩෝ දීමනාව, නිල ඇඳුම් සහ ගෙවල් කුලී දීමනාව ලබන ජූලි මස 1 වනදා සිට ඉහළ නංවන බවද මුදල් අමාත්‍යවරයා කියා සිටියා.  

අයවැයෙන් විශේෂ හැකියාවන් සහිත පුද්ගලයින්ට ලබාදෙන රුපියල් 3,000 මාසික දීමනාව රුපියල් 5,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

එසේම නිධන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන තවත් රෝගීන් 5,000 ක් සඳහා රුපියල් 5,000 මාසික දීමනාව ලබාදීමට කටයුතු කරන බවයි අයවැය කථාව සිදුකරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේ.

නව විවාහක යුවල සඳහා වසර 25 කින් ගෙවී යන පරිදි සියයට හයේ පොලියක් මත සිහින මාලිගා නමින් නිවාස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන බවද මුදල් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

විදේශීය ශිෂ්‍යයින්ට සහ වයස අවුරුදු 18 ට අඩු විදෙස් සංචාරකයින්ට ජාතික උද්‍යානවලට ඇතුලූවීමට අවශ්‍ය අවසර පත් සඳහා සියයට 50 ක මිල අඩුකිරීමක් ද මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා.

එසේම ඇමරිකානු ඩොලර් ලක්ෂ 4 ක් හෝ ඊට වඩා වැඩි මුදලක් මහල් නිවාස සඳහා ආයෝජනය කරනු ලබන විදේශිකයෙකුට වසර 3 ක නේවාසික වීසා ප්‍රදානය කරන බවයි මුදල් අමාත්‍යවරයා කියා සිටියේ.

උසස් පෙළ විභාගයේ ඉහළම ප්‍රතිඵල ලබාගන්නා සිසුන්ට ලොව හොඳම විශ්වවිද්‍යාලවලට ඇතුලූවීම සඳහා ශිෂ්‍යත්ව අරමුදලක් පිහිටුවන බවද අමාත්‍ය මංගල සමරවීර කියා සිටියා.  

කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිෂ්පාදන බද්ද අඩුකිරීමට ද මෙවර අයවැයෙන් තීරණය කර තිබෙනවා.

එමෙන්ම පොල් ආශ්‍රිත කර්මාන්තවලට දැනට පවතින නීති ලිහිල් කිරීමට බලාපොරොත්තු වන අතර, පේදුරුතුඩුව සහ පේසාලෙයි නව ධීවර වරායන් දෙකක් ඉදිකිරීමට රුපියල් මිලියන 1300 ක් වෙන් කිරීමටද මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා.
මේ අතර සියලූම ග්‍රාමීය පාසල්වල ළමයින්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.

නිෂ්පාදන බද්ද සංශෝධනය කිරීම සහ ජාතිය ගොඩනැගීමේ බද්ද පැනවීම හේතුවෙන් දුම්වැටියක මිල රුපියල් පහකින් ඉහළ දමන බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම බීඩි කොළ ආනයනය මත පනවා ඇති සෙස් බද්ද රුපියල් දාහකින් ඉහළ නැංවීම නිසා බීඩියක මිල ද ශත 50 කින් පමණ ඉහළ යනු ඇති බව ඔහු සඳහන් කළා.  

කැසිනෝ මත පනවා ඇති වාර්ෂික බලපත්‍ර ගාස්තුව රුපියල් මිලියන 200කින් ඉහළ නංවා ඇති අතර, රුපියල් මිලියනයක රුජිනෝ වාර්ෂික බලපත්‍ර ගාස්තුවක්ද අයවැයෙන් හඳුන්වා දී තිබෙනවා.

එසේම ජූනි මස 1 වනදා සිට කැසිනෝ සඳහා ඇමරිකානු ඩොලර් 50 ක ඇතුලූවීමේ ගාස්තුවක්ද හඳුන්වා දී තිබීම විශේෂත්වයක්.

එමෙන්ම විශේෂ අරක්කු හැර අනෙකුත් මධ්‍යසාරවල සුරාබදු හෙට සිට ඉහළ දමා ඇති අතර, ඒ හරහා මධ්‍යසාර වර්ගවල මිල ගණන්ද ඉදිරියේදී ඉහළ යනු ඇති.

 ජූනි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් ගමන් බලපත්‍ර ගාස්තුද ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය සේවාව යටතේ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේදී රුපියල් 3,000 ක්ව පැවති ගාස්තුව රුපියල් 500 කින් ඉහළ නංවා ඇති අතර, එක්දින සේවාව යටතේ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේදි අයකළ රුපියල් 10,000 ගාස්තුව ඉහළ නංවා ඇත්තේ රුපියල් 5,000 කින්.  

අයවැයෙන් හෙට සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ වාහන සඳහා වන නිෂ්පාදන බදු සහ සුඛෝපභෝගී වාහන බදු ඉහළ නංවා තිබෙනවා.

මේ අනුව සිලින්ඩර් ධාරිතාව 800 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 150,000 කින් සහ සිලින්ඩර් ධාරිතාව 1000 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 175,000 කින් ඉහළ නංවා තිබෙනවා.

සිලින්ඩර ධාරිතාව 1300 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද වැඩිකර ඇත්තේ රුපියල් ලක්ෂ 5 කින්.

එසේම සිලින්ඩර ධාරිතාව 800 ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහනවල නිෂ්පාදන බද්ද රුපියල් 250,000 කින් සහ 1500ට  අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන මත නිෂ්පාදන බද්ද රුපියල් ලක්ෂ 5 කින් ඉහළ නංවා තිබෙනවා.

තවද ත්‍රිරෝද රථ නිෂ්පාදන බද්ද ඉහළ නංවා ඇත්තේ රුපියල් 60,000 කින්. කෙසේ වෙතත් කිලෝවොට් 70 විදුලි මෝටර් රථ මත පනවා ඇති නිෂ්පාදන බද්ද රුපියල් 175,000 කින් සහ කුඩා ට්‍රක් රථ සඳහා පනවා ඇති නිෂ්පාදන බදු අඩුකර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories