වධහිංසා ගැන සොයන ජගත් සංවිධාන නියෝජිතයන් දිවයිනට - දෙමළ සන්ධානය සතුටෙන්

Saturday, 09 March 2019 - 18:52

%E0%B7%80%E0%B6%B0%E0%B7%84%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනු කමිටුවේ නියෝජිත කණ්ඩායමක් ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියේ ශ්‍රී ලංකාවට අමතරව පලස්තීනය, ආර්ජන්ටිනාව හා බල්ගේරියාව ඇතුළු රටවල් කිහිපයකද එම අනු කමිටුවේ නියෝජිතයින් සංචාරය කිරීමට නියමිත බවයි.

වධහිංසා වැළැක්වීමේ ප්‍රඥප්තියට අත්සන් තැබූ රටවල සංචාරය කිරීමේ බලය මෙම අනුකමිටුවේ නියෝජිතයින්ට හිමිවන අතර, ඒ අනුව මෙම සංචාර සිදුවන බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ.

මෙම සංචාරවලින් අනතුරුව අදාළ නියෝජිතයින් සියළු දෙනා වධහිංසා වැළැක්වීම සඳහා සාමාජික රටවල් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක්ද නිකුත් කරනු ඇති.

මේ අතර, ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාව එකඟ වූ කරුණු රැසක් ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචෙලෙට් පවසනවා.

ඇය මෙම චෝදනාව එල්ල කර ඇත්තේ ජිනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරය වෙත ශ්‍රී ලංකාව පිළිබඳව ඇය ඉදිරිපත් කරන වාර්තාවේ දළ පිටපතක් සාමාජික රටවල් වෙත ලබාදෙමින්.

ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝණය කිරීමේ චෝදනා විභාග කිරීම සඳහා දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බවට මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාර්තාවෙන් යළි යෝජනා කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීමේ පනත් කෙටුම්පත මානව හිමිකම් කොමිසමේ උපදෙස් සහිතව ජාත්‍යන්තර භාවිතයන්ට අනුකූලව සිදුකරන ලෙසයි ඇය සඳහන් කර ඇත්තේ.

මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳ නිරන්තර අධීක්ෂණය සඳහා ජගත් මානව හිමිකම් මහකොමසාරිස්ගේ දේශීය කාර්යාලයක් ස්ථාපිත කරන ලෙස ද ඇය ඉල්ලා සිටිනවා.

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබද වාර්තාව ලබන 20 වන දා ජිනිවා මානව හිමිකම් මණ්ඩලය වෙත නිළ වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, මෙරට කටයුතු ස්වාධීනව සිදුකරගෙන යෑමට ඉඩ ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අවධාරණය කිරීම සඳහා තම නියෝජිතයන් තුන්දෙනෙකු ජිනීවා වෙත යවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේ මේ වනවිට ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වී ඇති පසුබිමක එක්සත් රාජධානිය හා එක්ව සම අනුග්‍රාහකත්වය දරමින් ඒ වෙනුවට නව යෝජනාවක් ගෙන එන බවයි.

එමඟින් 2015 දී ඇමරිකාවේ සම අනුග්‍රාහකත්වයෙන් සම්මත කරගත් 30 - 1 යෝජනාව ක්‍රියාත්මක කිරීමට කල් ඉල්ලීමට අපේක්ෂා කෙරෙනවා.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් යාපනයේ අද පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධව  අදහස් පළ කළා.  

‘‘ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මන්ඩලයේ 40 වන සැසිවාරයට මහ කොමසාරිස්වරිය විසින් සාමාජික රටවල්වලට ශ්‍රී ලංකාව ගැන වාර්තාවේ දළ පිටපතක් නිකුත් කරලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාවට වසර 2 ක කාලයක් ලබාදීලා තිබුණා පොරොන්දු ඉටුකරන්න. ඒ අනුව සෙසු රටවල් කරපු ඉල්ලීමට අනුව තමයි මෙම වාර්තාව නිකුත් කරලා තිබෙන්නේ. ඒ වාර්තාවේ ලංකාව ගැන කරුණු රැසක් තියෙනවා. මේ වාර්තාව අපි දෙමළ ජාතික සන්ධානය හැටියට පිළිගන්නවා. මේ වෙනුවෙන් මහ කොමාසාරිස්වරියට වගේම ඇගේ කාර්යාලයටත් අපි අපේ ස්තූතිය පුද කරනවා, මේ වාර්තාවේ දළ පිටපත සාමාජික රටවල්වලට ලබාදීම ගැන.’’ යනුවෙන් සුමන්දිරන් මන්ත්‍රිවරයා අදහස් පළ කළා.

මානව හිමිකම් සමුළුවේ සමගාමී සැසිවාරයන් තුළදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජිනීවා බලා පිටත්ව යාමට පෙර මහාචාර්ය චන්න ජයසුමන මාධ්‍යයට අදහස් පළ කරමින් කියා සිටියේ කොටි හිතවාදීන් ජිනීවා නුවර සිට අසත්‍ය චෝදනා පතුරුවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories