පිපිරීම් වලට අදාළව 40 ක් අත්අඩංගුවට

Tuesday, 23 April 2019 - 10:55

%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85%E0%B7%80+40+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පසුගිය ඉරිදා ප්‍රදේශ 8 කදී සිදුවූ පිපිරීම් වලට අදාළව මේ වනවිට පුද්ගලයින් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි.

එසේම, ඔවුන් අතරින් පුද්ගලයින් 26 දෙනෙකු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇතැයි ද ඔහු කියා සිටියා.

එමෙන්ම, සැකකරුවන් තුන් දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ රදවාගෙන මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදුකෙරෙනවා.

කොච්චිකඬේ දේවස්ථානයේ පිපිරීමට සැකකරුවන් පැමිණි බව පැවසෙන වෑන් රථයේ රියදුරු වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා.

එමෙන්ම, පිපිරීම් සිදුකිරීම සදහා පැමිණි පුද්ගලයින් නවාතැන් ගෙන සිටි බව පැවසෙන පානදුර - සරික්කමුල්ල ප්‍රදේශයේ නිවසේ හිමිකරු අත්අඩංගුවට ගැණුනු අතර අදාළ නිවසට මේ වනවිට මුද්‍රා තබා පොලිස් ආරක්ෂාව ලබාදී තිබෙනවා.

එමෙන්ම, වැල්ලම්පිටිය - අවිස්සාවේල්ල මාර්ගයේ අංක 111 දරණ තඹ කර්මාන්තශාලාවකදී පොලීසිය සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකළ සීලවන් හින්සාම් නැමැත්තාට සහ දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසේ සිදුවූ පිපිරීමෙන් මිය ගිය කාන්තාවට අයත් අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කළ පුද්ගලයින්.

ගම්පොළ පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරට ලද තොරතුරකට අනුව වෙලම්බොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර සිදුකළ පුද්ගලයෙකුට නවාතැන් ලබාදීම සම්බන්ධයෙන්.

එමෙන්ම, ලිදුල - රහන්වත්ත ප්‍රදේශයේදී අනන්‍යතාවය තහවුරු කළ නොහැකි වූ කාන්තාවක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

28 හැවිරිදි මෙම කාන්තාව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇයගේ ස්වාමි පුරුෂයා කොච්චිකඬේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත්, මෙම කාන්තාව වත්තල ප්‍රදේශයේ පසුගිය 12 වනදා රැදී සිට ඇති අතර, පසුගිය 9 වනදා වව්නියාව බලා ගමන් ගත් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ද පොලීසිය සොයා ගෙන තිබෙනවා.

ඇයගේ ජංගම දුරකථනයේ තිබී කතෝලික ආගමේ සංකේතවල ඡායාරූප කිහිපයක් ද හමුවී තිබෙනවා.

එම කාන්තාව කුරුණෑගල ප්‍රදේශයේ සිට ලිදුල ප්‍රදේශයට පැමිණ ඇත්තේ කුමන අරමුණකින්දැයි පරීක්ෂණ මෙහෙයවන බවයි පොලීසිය සදහන් කළේ.

ඇය අද පස්වරුවේ නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, අද දිනයේත් ස්ථාන කිහිපයක සැකකටයුතු පාර්සල් ඇති බවට ආරක්ෂක අංශ වෙත ලද තොරතුරු මත පරික්ෂණ කටයුතු සිදුකෙරුණා. ඒ අනුව, කදාන මංසන්ධියේ සැක කටයුතු පාර්සලයක් ඇති බවට පොලිසියට ලද තොරතුරක් මත විශේෂ පරීක්ෂණයක් සිදුකෙරුණා.

එමෙන්ම, කොළඹ - නවම් මාවතේ පිහිටි පෞද්ගලික බැංකුවක්, දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති මාර්ගයක් ද පොලීසිය විශේෂ පරීක්ෂාවට ලක් කළා.

මේ අතර, කොල්ලූපිටිය දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක පාර්සලයක් සම්බන්ධයෙන් මගීන් කළ දැනුම්දීමකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශය පැමිණ පරීක්ෂා කරනු ලැබුවා.  

කෙසේ වෙතත්, එය මගියෙකු විසින් දමාගිය ගමන් මල්ලක් බවයි පසුව අනාවරණ වුණේ.

මේ අතර, මහනුවර - ශ්‍රී දළදා මාලිගාව අවට නවතා ඇති, රථ වාහන ද වහාම ඉවත් කර ගන්නා ලෙස පොලීසිය අද පෙරවරුවේ රියදුරන්ට දැනුම් දී තිබුණා.

දළදා මාලිගාවට ඇතුළු වන සියලූම බැතිමතුන් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන අතර, මාලිගාව අවට යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය එක්ව විශේෂ පරීක්ෂණ සිදු කෙරෙනවා.

මේ අතර, අම්පාර නගරයේ ඔරලෝසු කණුව අසල නවතා තිබූ යතුරුපැදියක් ද පොලීසිය පරීක්ෂාවට ලක් කර තිබුණේ හිමිකරුවෙකු නොමැතිව අතහැර දමා ඇති බවට ලද තොරතුරක් මතයි.

නමුත් පසුව එහි හිමිකරු පැමිණ සිය අනන්‍යතාවය සනාථ කර ඇති අතර, එම යතුරුපැදියේ තිබී කිසිදු සැකකටයුතු යමක් හමුවී නැහැ.

එමෙන්ම, කෝට්ටේ රජමහා විහාරය සහ පිටකෝට්ටේ මංසන්ධිය අතර, මාර්ගයේ තිබූ මෝටර් රථයක් ද පොලීසිය අද පරීක්ෂාවට ලක් කළේ ප්‍රදේශවාසීන් කළ පැමිණිල්ලකට අනුවයි.   

එමෙන්ම, නගරාශ්‍රිතව මාර්ගයන්හි රථ වාහන ගාල් කොට ඉන් බැහැරව යන්නේ නම් තම අනන්‍යතාවය තහවුරු වන අන්දමින් දුරකථන අංකය සහ නම ප්‍රදර්ශනය කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories