ඛේදවාචකයේ මෙන්ම බුද්ධි අංශ අඩපණ කිරීමේ වගකීම ද, රජය භාර ගතයුතු බව ජනපති කියයි

Friday, 26 April 2019 - 9:53

%E0%B6%9B%E0%B7%9A%E0%B6%AF%E0%B7%80%E0%B7%8F%E0%B6%A0%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B6%85%E0%B6%A9%E0%B6%B4%E0%B6%AB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%AF%2C+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සිදුවූ ඛේදවාචකයේ වගකීම රජය භාර ගත යුතු සේම, බුද්ධි අංශ අඩපණ කිරීමේ වගකීමත් රජය භාර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ කොටුව ජනාධිපති මන්දිරයේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

පසුගිය දෙවසර තුළ ආණ්ඩුව සහ තමන් අතර ගැටුම් ඇති වූයේ ආරක්ෂක හමුදා දුර්වල කිරීමට එරෙහිව තමා පෙනී සිටීම නිසා බව ද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

සමස්ත මුස්ලිම් ජනතාව දෙස, ත්‍රස්තවාදීන් ලෙස නොබලන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සියළු රටවැසියන්ගෙන් ඉල්ලීමක් කළා.

මුස්ලිම් ප්‍රජාව ආරක්ෂා කිරීම සැමගේ වගකීමක් බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී කියා සිටියා.

මත්ද්‍රව්‍ය වලට එරෙහි සටන සහ ත්‍රස්තවාදය අතර සම්බන්ධතාව අප අමතක නොකළ යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙවැනි අන්තවාදීන් 130ක් පමණ රට තුළ සිටින අතර ඔවුන් සියළු දෙනා අත්අඩංගුවට ගෙන අයි.එස්. ත්‍රස්තවාදීන් රට තුළින් සම්පූර්ණයෙන් ඉවත් කරන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.

කිසියම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විදෙස් බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිය පසුගිය 4 වන දා ලැබී තිබූ අතර එහි ප්‍රහාරය එල්ල කරන්නේ කවුරුන්ද, කුමන ස්ථානවලට ද, කුමන ආකාරයට ද යන්න සවිස්තර වාර්තා කර තිබූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියා.

අදාළ ලිපිය එදින සිට 12 වන දා දක්වා ආරක්ෂක අංශ ප්‍රධානීන් අතර හුවමාරු වෙමින් තිබී ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේ.

ඒ අනුව අදාළ ලිපිය බුද්ධි අංශ අධ්‍යක්ෂවරයාගෙන් ආරක්ෂක ලේකම්වරයාටත්, ඔහුගෙන් ජාතික ආරක්ෂක ප්‍රධානීයා වෙතත් හුවමාරු වී ඇති අතර, අනතුරුව එය පොලිස්පතිවරයා වෙත යවා තිබෙනවා.

පොලිස්පතිවරයා අදාළ විදෙස් බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිය නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකු වෙත යොමු කර තිබෙනවා.

ඉන් ඉදිරියට කිසිදු පියවරක් මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙන නොමැති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ගෙන්වා තමන් කරුණු විමසූ අතර එහිදී පොලිස්පතිවරයා වැරැද්දක් සිදුවූ බවට පිළිගත් බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය ප්‍රධානී හමුවේදී ප්‍රකාශ කළා.

හෙට දිනයේදී ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කර රටේ ආරක්ෂාවට අවශ්‍ය කටයුතු සිදුකරන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇති බව සදහන්.

ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස්වී ඇති අතර, පොලිස්පතිවරයා අද දිනය තුළ ඉල්ලා අස්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.  

එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සමාජ මාධ්‍ය වෙත පැනවුණු සීමාවන් අද දිනයේ ඉවත් කිරීමට සැලසුම් කර තිබුණ ද, ඊයේ දිනයේදී පවා එම මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු සංසරණය වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කළා.

මේ නිසා එම තහංචි ඉවත් කිරීම යළි සලකා බැලීමට සිදුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අදාළ සමාජ මාධ්‍ය ප්‍රධානීන් අද දිනයේදී හමුවීමට කටයුතු යොදා ඇති බව ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවේදී කියා සිටියා.

තත්ත්වය පාලනය කිරීමට කටයුතු නොකළහොත් සමාජ මාධ්‍ය මුළුමනින්ම තහනම් කිරීමට තමාට සිදුවන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories