ජාතික තව්හිද් ජමාත් කොළඹ සංවිධායක, යළි රිමාන්ඩ්

Tuesday, 07 May 2019 - 11:35

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%AD%E0%B7%80%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%2C+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
තහනම් සංවිධානයක් ලෙස නම් කර ඇති ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මොහොමඞ් ෆාරුක් මොහොමඞ් ෆවාස් මේ මස 21 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මෙහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මොහු ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කර ඇති බවට විමර්ශණවලදී කරුණු හෙලි වී ඇති බවයි.

සැකකරු සතුව තිබී මෙම ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ලේඛණ සහ වීඩියේ දර්ශන සොයාගෙන ඇති හෙයින් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද පොලීසිය අධිකරණයට දන්වා සිටියා.

සැකකරුට ඇප ලබාදෙන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළ නමුත් මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ මොහු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර ඇති බැවින් ඇප ලබාදීමට මෙම අධිකරණයට බලයක් නොමැති බවයි.

එමෙන්ම, මොහු සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශන කඩිනම් කරන ලෙසට ද විනිසුරුවරිය පොලීසියට දැනුම් දුන්නා.

වෘත්තියෙන් වායුසමීකරණ අලූත්වැඩියාකරන්නෙකු වූ මොහු, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 28 වනදායි.

මොහුගේ ජංගම දුරකථනයේ තිබී පිපිරීම් වලට අදාළ වැදගත් කරුණු රැසක් අනාවරණය වූ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයේදී පුපුරුවා හරින ලද බෝම්බවල පරිපථ සකස් කර ඇත්තේ මොහු බවටද පසුව හෙලි වුණා.

මේ අතර, කොළඹ - කොටුව - ටෙලිකොම් ආයතනය ආසන්නයේ නතර කර තිබූ පෞද්ගලික බස් රථයක ජනතාව බිය ගැන්වීමේ අරමුණින් පාර්සලයක් තබා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අද උදෑසන මගී ජනතාව පොලීසියට දැනුම් දී ඇත්තේ පෞද්ගලික බස් රථයක සැක කටයුතු පාර්සලයක් පවතින බවටයි.

ඒ අනුව පොලීසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ කවුරුන් විසින් හෝ ජනතාව බිය ගැන්වීමේ අරමුණින් මෙලෙස පාර්සලයක් තබා යන්නට ඇති බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඒ අසළ වෙළඳසැල්වල සී.සී.ටී.වී කැමරා ද පරීක්ෂා කර තිබෙනවා.

කෙසේ වෙතත්, අනාරක්ෂිත ලෙස බස් රථය මහමඟ දමා යාම සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ රිය සහයක අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම, ඊයේ දිනයේ ගෑස්පහ මංසන්ධියේ නතර කර තිබූ යතුරුපැදියක ද එලෙස ජනතාව බිය ගැන්වීමේ අරමුණින් පාර්සලක් තබා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණා.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ සැක කටයුතු පාර්සල් පවතින බවට පොලීසිය නොමඟ හරින පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවයි.

මේ අතර, හැටන් පෞද්ගලික බස් නැවතුම්පොළ අසල සැක කටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී යුද හමුදා නිල ඇඳුමක් සහ හිස් වැස්මක් අද සොයාගෙන තිබෙනවා.

එමෙන්ම, නාවලපිටිය - හපුගස්තලාව ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකාය විසින් සෝදිසි මෙහෙයුමකදී තවුහිද් ජමාත් සංවිධානයට අයත් බව කියන සී.ඞී. තැටි 15ක් සොයාගෙන ඇති බව සඳහන්.  

එමෙන්ම, පාර්ලිමේන්තුව අද පස්වරු 1ට ආරම්භවීමට නියමිත අතර ඒ හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ මෙන්ම ඒ අවට ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනවා.

මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු වසා දැමුණු කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දින 16කට පසු ආගමික වතාවත් සඳහා අද යලි විවෘත කෙරුණා. මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු තවදුරටත් සිදුකෙරෙන නමුත් දේවස්ථානයේ කොටසක් ආගමික වතාවත් සඳහා විවෘත කර ඇති බවයි එහි පාලක කේ.ඒ. ජූඞ් රාජ් ප්‍රනාන්දු පියතුමන් සඳහන් කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories