එජාප නව සන්ධානය පිහිටුවීම කල් යයි

Sunday, 04 August 2019 - 11:33

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය පිහිටුවීම හෙට දිනයේ සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල පවසනවා.

සන්ධානගතවීමට නියමිත ව්‍යවස්ථාව පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරය තුළ පවතින මතභේදය විසඳාගත් පසු එම කටයුත්ත සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා එම පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

එම හමුවේදී හෙට අත්සන් කිරීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණු සන්ධානයේ ව්‍යවස්ථාව කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් එහි අඩංගු ඇතැම් කරුණු සම්බන්ධයෙන් සාමාජිකයන්ගේ එකඟතාවක් පළවී තිබුණේ නැහැ.

නව සන්ධානය තුළ එක්සත් ජාතික පක්ෂයට හිමිවන බලය, ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් මෙහිදී දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇතිවුණා.

එම තත්ත්වය තුළ එදින කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව අවසන් වූයේ සන්ධානයේ ව්‍යවස්ථාව පිළිබඳ ලිඛිත අදහස් ලබාදෙන ලෙසට සාමාජිකත්වය දැනුවත් කරමින්.

ඊයේ සහ පෙරේදා දින දෙකේදීත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ශව කිහිපයක් අතර නව සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා පැවති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවන නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳවද මතබේදාත්මක ගැටළු දිගින් දිගටම හටගත් අතර, එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් කියා සිටියේ එම පක්ෂයේම නියෝජිතයෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු බවයි.

එසේ නොවුණහොත් දේශපාලනයෙන් සමුගන්නා බවද පසුපෙළ මන්ත්‍රී හේෂා විතානගේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

කෙසේ වෙතත් පිහිටුවීමට නියමිත සන්ධානයට අවශ්‍ය වන්නේ නායකයෙකු නොව නායකත්ව මණ්ඩලයක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිහිටුවීමට නියමිත නව සන්ධානය නියෝජනය කරන මැති ඇමතිවරුන් අතර මෙවැනි මතභේදාත්මක ගැටළු පවතින තත්ත්වයක් තුළයි හෙට දිනයේ පිහිටුවීමට නියමිත සන්ධානයේ කටයුතු දින නියමයකින් තොරව කල් දමා ඇත්තේ.  

එමෙන්ම රට තුළ පවතින දේශපාලන වාතාවරණය සහ ඉදිරියේදී ජනාධිපතිවරණයට සහය පළ කරන්නේ කුමන පාර්ශවයටද යන්න පිළිබඳවද තමිල්අරසු පක්ෂය මේ වනවිට ත්‍රිකුණාමලයේදී සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories