සාමණේර හිමිවරුන් දෙනමකට පහරදුන් හොරොව්පතානේ "උටියා" රිමාන්ඩ්

Wednesday, 11 September 2019 - 18:46

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%AB%E0%B7%9A%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%22%E0%B6%8B%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%22+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
හොරොව්පතාන ශ්‍රී ස්වර්ණාතිලකාරාම විහාරස්ථානයේ් සාමනේර හිමිවරුන් දෙනමට අමානුෂික අයුරින් පහර දුන් චමින්ද ගලබොඩ හෙවත් උටියා නමැත්තා මේ මස 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකරු පදවිය සංචාරක මහේස්ත්‍රාත් හර්ෂණ අල්විස් හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී පොලීසිය දැනුම්දී ඇත්තේ සැකකරුට ඇප ලබාදුනහොත් සමාජ කැළඹීමක් ඇතිවිය හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසටයි.

ආගමික කැළඹීමක් ඇතිකිරීමේ අරමුණින් සැකකරු විසින් හෝ වෙනත් පුද්ගලයෙකු විසින් මෙම පහරදීම දැක්වෙන වීඩියෝ පටය සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති බව මෙහිදී පොලීසිය අධිකරණයට දැනුම්දී තිබෙනවා.

මෙහිදී සාමණේර දෙනම වෙනුවෙන් කිසිදු ගාස්තු අය කිරීමකින් තොරව නීතීඥයින් පෙනී සිටීමත්, සැකකරු වෙනුවෙන් කිසිදු නීතීඥයෙකු ඉදිරිපත් නොවීමත් විශේෂත්වයක්.

සැකකරු අධිකරණ ශාලාව වෙත රැගෙන යන අවස්ථාවේ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ද අයැද සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

පහරදෙන අවස්ථාවේදී එය වීඩියෝ ගතකළ පුද්ගලයින් සම්බන්ධයෙන්ද මේ වනවිට විමර්ශන  ක්‍රියාත්මකයි.

 මේ වනවිට පහරකෑමට ලක්වූ සාමණේර හිමිවරුන් දෙනම අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.  

වෙළඳසැලකින් චොක්ලට් 2 ක් සොරකම් කළ බවට පවසමින් සැකකාර චමින්ද ගලබොඩ හෙවත් උටියා නමැත්තා මෙම කුඩා සාමණේර හිමිවරුන් දෙනමට පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, අනතුරුවයි සැකකරු ඊයේ හොරොව්පතාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

කෙසේ වෙතත් පොලීසිය සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ සාමෙණේර දෙනම කිරි පැකට් මිලදී ගැනීම සඳහා වෙළඳසැලට පැමිණ ඇති බවයි.

චොක්ලට් සොරකම් කිරීමක් සිදුකර නොමැති බවද පරීක්ෂණවලදී අනාවරණ වුණා.

පසුගිය 7 වන දා මෙම පහරදීම සිදුව ඇති අතර, එදිනම පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇති නමුත් විහාරස්ථානයේ දායක සභාවේ සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත සැකකරු මුදා හැර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු මුදාහළ පසුවයි මෙම පහරදීමේ සිද්ධිය දැක්වෙන වීඩියෝ පටය මෙලෙස සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ.   

සාමණේර හිමිවරුන් දෙනම වැඩවසන හොරොව්පතාන ශ්‍රී ස්වර්ණාතිලකාරාම විහාරස්ථානයේ් විහාරාධිපති පූජ්‍ය වැලිමුවපතානේ පියරතන හිමියන්ද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වා සිටියා.

මේ අතර චමින්ද ගලබොඩ හෙවත් උටියා අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගේ ඡායාරූපයක් ලෙස චමින්ද ගලබොඩ නැමති මහනුවර පදිංචි, දැනට කටාර් හි සේවයේ නියුතු පුද්ගලයෙකුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

ඔහු අද වීඩියෝවක් සමාජගත කර එම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ද කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ සාමණේර හිමියන් දෙනමට පහරදීමේ සිද්ධිය පිළිබඳව කරුණු පැහැදිළි කර දීම සඳහායි.

සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කියා සිටියේ පිං කැටවලට බදු ගහන ආණ්ඩුවකට ශාසනය රැකගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර, මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා කඩිනමින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත කෘතඥතාව පළ කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories