ජනාධිපතිවරණ නිල නිවේදනය මේ මස අඟදී?

Saturday, 14 September 2019 - 12:40

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%83+%E0%B6%85%E0%B6%9F%E0%B6%AF%E0%B7%93%3F
ජනාධිපතිවරණය කැදවීමට අදාළ නිළ නිවේදනය මේ මස අඟ නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ජනාධිපතිවරණ පනතට අනුව පසුගිය 10 වන දා සිට ජනාධිපතිවරණය කැදවීමේ බලතල මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරුණු බවයි.

එහෙත් කොමිෂන් සභාව එම බලතල ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නේ ලබන සඳුදායින් පසුව බව ද ඔහු කියා සිටියා.

ජනාධිපතිවරණ පනතට අනුව ජනාධිපතිවරණය කැදවීමේ නිළ නිවේදනය නිකුත් කර දින 14කට නොඅඩු සහ දින 21කට නොවැඩි දිනයකදී නාම යෝජනා කැදවිය යුතුයි.

නාම යෝජනා කැදවීමේ දින සිට සති 4ත්, 6ත් අතර දිනයකදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු වනවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන මස 11 වන දා පැවැත්වීමට නියමිත අතර, ඊට බාධාවක් නොවන ලෙස ජනාධිපතිවරණයේ කටයුතු සිදුකිරීමට ද අපේක්ෂා කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ නිළධාරියා සඳහන් කළේ.

මෙම තත්ත්වය අනුව ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 20 වනදා සහ 30 වන දා අතර දිනක පැවැත්වීමට බොහෝදුරට ඉඩකඩ පවතින බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග අනාවරණ කළා.

කෙසේ වෙතත්, ජනාධිපතිවරණය සෙනසුරාදා දිනෙක පැවැත්විය යුතු බවට නියමක් නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියා කියා සිටියා.

මේ අතර, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මේ මස 17 වනදා දේශපාලන පක්ෂවල ලේකම්වරුන් හමුවීමට නියමිතයි.

එහිදී ඉදිරි ජනාධිපතිවරණයට අදාල කරුණු සම්බන්ධයෙන් සාකච්ජා කරනු ඇති බවයි එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙවර ජනාධිපතිවරණය 2018 ජන්ද නාමලේඛණයට අනුව සිදු කරනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories