වැසි තවදුරටත් වැඩිවේ කළු ගඟේ සහ අත්තනගළු ඔයේ ජල මට්ටම් ඉහලට

Monday, 16 September 2019 - 12:18

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B6%9C%E0%B7%85%E0%B7%94+%E0%B6%94%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
පවතින වැසි තත්ත්වය ඉදිරියේදීත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද පෙරවරු 6න් අවසන් වූ ගත වූ පැය 24තුල වැඩිම වර්ෂාපතන නුවරඑළියෙන් වාර්තා වූ අතර එය මිලිමීටර් 192ක්.

කළුතරට මිලිමීටර් 130ක වර්ෂාපතනය ඇද හැලී තිබෙනවා.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ කොටහේන - ආමර් බාබර් මංසන්ධිය සම්පූර්ණයෙන් ජලයෙන් යටවීම නිසා අද උදෑසන සිට එම ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් පවතින අතර මේ නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය රියදුරනගෙන් ඉල්ලා සිටියේ.

පස් කන්දක් සහ ගස් කඩාවැටීමක් හේතුවෙන් නෝටන් බි්‍රජ් සිට දියගල දක්වා ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය අට්ලිස් ප්‍රදේශයෙන් අවහිර වී තිබූ අතර එය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් බදුල්ල - සොරණාතොට ප්‍රදේශයෙන් පවුල් 88 ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගත්තා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජල ගැලීම් හේතුවෙන් පවුල් 69 ක පුද්ගලයන් 288 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, හම්බන්තොට, තිස්සමහාරාමය සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශවලින් ජල ගැලීම් වාර්තාවී ඇති බවයි එම මධ්‍යස්ථානය කියා සිටියේ.

එමෙන්ම වැසි හේතුවෙන් කැළණි සහ කළු  ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයේද ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්‍ෂිකා මාලා අලවතුගොඩ කියා සිටියේ.

කැළණි ගඟේ ජල මට්ටම නෝවුඞ් ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති බවයි ඇය කියා සිටියේ. කළු ගඟේ සහ මගුරු ගඟේ ද ජල මට්ටම ඉහළ ගොස් ඇති  අතර, කළු ගඟේ ජල මට්ටම රත්නපුර සහ මිල්ලකන්ද ප්‍රදේශවලින් අවවාදාත්මක මට්ටමට පැමිණ ඇති බවද ජල කළමනාකරණ අධ්‍යක්‍ෂිකාව ප්‍රකාශ කළා.

අත්තනගලු ඔයේද ජල මට්ටම දූනමලේ ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති බවයි ඇය කියා සිටියේ.

රත්නපුර, නුවරඑළිය, කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට නිකුත් කර තිබූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් වලංගු වන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස කියා සිටියේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ වැඩි අවධානයකින් කටයුතු කරන ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් පිළිබඳ සහකාර අධ්‍යක්‍ෂ පද්මප්‍රිය තිසේරා ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories