එජාපය තවමත් කොන්දේසි සහ ගිවිසුම් මැද

Wednesday, 25 September 2019 - 19:17

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF
එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට පස්වරු 3 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිතයි.

ඒ සඳහා සියලූ කටයුතු මේ වනවිටත් සූදානම් කර අවසන් බවයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කිරීමට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එකඟත්වය පළ කර ඇති බවටයි මේ වනවිට වාර්තාවන්නේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් තමන් වෙත මෙතෙක් සිදුකර නොමැති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස සඳහන් කළා.

මේ අතර සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීමට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොන්දේසි කිහිපයක් පනවා ඇති බවට මාධ්‍ය වාර්තා අනාවරණ කරනවා.

විධායක ජනාධිපති ධුරය මාස 6 ක් ඇතුළත අහෝසි කිරීම, පක්ෂ නායකත්වයේ වෙනසක් සිදු නොකිරීම සහ ඉදිරි මහ මැතිවරණයකදී අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ හට ලබාදීම එම කොන්දේසි අතර වන බවටයි වාර්තාවන්නේ.

මෙම ඉදිරිපත් කර ඇති කොන්දේසි සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද අදහස් පළ වුණා.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

පැය දෙකකට ආසන්න කාලයක් පැවති එම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස තවත් සාකච්ඡාවක් සඳහා අරලියගහ මන්දිරය වෙත පැමිණියා.

එහිදීද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුවූ බවටයි වාර්තාවන්නේ.

එමෙන්ම තමන් හා එක්වන ලෙස සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට සිදුකළ ඉල්ලීම ඔහු විසින් පිළිගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු මහ ලේකම්වරයා සඳහන් කළේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස හා එක්ව පක්ෂයෙන් ඈත්වූ ජයග්‍රහණය යළි ලබාදීමට කැපවීමෙන් කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් විකල්ප කණ්ඩායමක් ලෙස පෙනී සිටින දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා පක්ෂයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා.

මේ අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානය අද මැතිවරණ කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ විෂයභාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සේවක පත්වීම් ලබාදීමේ උත්සාහයක නිරතවන බවට කරුණු දක්වමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories