වර්ජන සමග මතුවූ රටේ තත්ත්වය ගැන, විශේෂ කැබිනට් රැස්වීමක්

Friday, 27 September 2019 - 19:11

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දුම්රිය වර්ජනය ඇතුළු රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මේ වනවිට විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත්වෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරු හයට එය ආරම්භ වූ බවයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනයට අදාළ යෝජනාව පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ අද කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කියා සිටියා.

වැටුප් විෂමතා ගැටලූවක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනය හේතුවෙන් මගීන් අදත් දැඩි අපහසුතාවයට පත්වුණා.

දෛනිකව දුම්රිය ගමන්වාර 376 ක් ක්‍රියාත්මක වුවද, අද දිනයේ මේ දක්වා ධාවනය කර ඇති මුළු දුම්රිය ගමන්වාර සංඛ්‍යාව 20 කට ආසන්න බවයි දුම්රිය ගමනාගමන අධිකාරි වී. එස්. පොල්වත්තගේ සඳහන් කළේ.

දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂකවරු, ප්‍රවාහන පරීක්ෂක කාර්මික නිලධාරින් ඇතුළු ඉහළ නිලධාරි මට්ටමේ පිරිස් යොදවා කාර්යාල දුම්රිය සේවා අද ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ අතර, කොළඹ - කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ද එක් ඉන්ධන ප්‍රවාහන දුම්රියක් ධාවනය කෙරුණා.  

වර්ජනයේ නිරත දුම්රිය රියදුරු නියාමක, ස්ථානාධිපතිවරු, පාලක, අධීක්ෂණ කළමනාකරණ, ඇතුළු දුම්රිය වෘත්තිය සමිති ප්‍රකාශ කළේ දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කළ ද, තම ගැටලූවට විසඳුම් ලැබෙන තෙක් අඛන්ඩව වර්ජනයේ නිරත වන බවයි.

දුම්රිය වර්ජනයට සමගාමීව ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩුද මේ වනවිට අවලංගු කර තිබෙනවා.

එමෙන්ම, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති, ජනක මල්ලිමාරච්චි සඳහන් කළේ අද දිනයේ කාලසටහන්වලින් බැහැරව මගී අවශ්‍යතාවය අනුව බස් රථ ධාවනයට අවශ්‍ය උපදෙස් ලබාදුන් බවයි.

මේ අතර, ගුරු - විදුහල්පතිවරුන් ඊයේ ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක කෙරුණා.

ඒ හේතුවෙන් අද දිනයේත් දිවයිනේ බොහෝ පාසල්වල සිසුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, ගුරු වර්ජනය හේතුවෙන් පාසල් නොපැවැත්වීම නිසා ත්‍රිකුණාමලය - පුල්මුඩේ මුහුදේ දියනෑමට ගිය සිසුන් තුන්දෙනෙකු ඊයේ දියේ ගිලී අනතුරට ලක්වූ අතර ඉන් එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එම සිසුවාගේ සිරුර අද ධීවරයින් පිරිසක් විසින් සොයා ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ අවුරුදු 10 ක් වයසැති පාසල් සිසුවෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories