මියගිය තවත් ඇතින්නියන් දෙදෙනෙකුගේ සිරුරු හමුවේ - මරණ සංඛ්‍යාව 7 දක්වා ඉහළට

Saturday, 28 September 2019 - 19:43

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+7+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ශ්‍රී ලංකාවේ වනඅලි ඝණත්වයට ඉමහත් තර්ජනයක් එල්ල කරමින් හබරණ - හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේදී අභිරහස් ලෙස මියගිය තවත් ඇතින්නියන් තුන් දෙනෙකුගේ සිරුරු අද හමුවුණා.

ඒ අනුව, ඊයේ දිනයේ මියගිය ඇතින්නියන් සිව් දෙනා සමඟ මේ වනවිට මියගොස් සිටින ඇතින්නියන් සංඛ්‍යාව 7 දක්වා ඉහළ යනවා.

මියගිය ඇතින්නියන් අතර, ගැබ්බර ඇතින්නියන් 3 දෙනෙකු සිටි අතර, ඔවුන් මිය යාමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

සීගිරිය වනජිවි කාර්යාලයේ නිලධාරින්, යුද හමුදාව සහ හබරණ පොලීසිය මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව සිරුරු ඇත්දැයි තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරන බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

අද පෙරවරුවේ සොයා ගත් මියගිය ඇතින්නියකගේ මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමේදී ඇගේ පැටවා එම ස්ථානයේ ගැවසුණු අතර, එම අලි පැටවා නිර්වින්දනය කර වෙනත් ප්‍රදේශයකට යැවීමට පියවර ගැණුනා.

මෙම සතුන් මියයාමට හේතු සොයා බැලීම සඳහා ගිරිතලේ, අනුරාධපුර හා වයඹ කලාප භාර පශු වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු වනජිවි කණ්ඩායම් 4ක් මගින් විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.

පොළොන්නරුව වනජිවි කලාපය භාර සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඩී.එම්.ජේ. වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ කිසියම් පිරිසක් මෙම ක්‍රියාව සිදුකර ඇත්නම් ඊට අදාළව ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර, වනජිවි රාජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ ද ඇතින්නියන් මියගොස් සිටින ප්‍රදේශයේ අද පස්වරුවේ සංචාරයක නිරත වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories