රටවල් 10 කින් නිරීක්ෂකයන් මැතිවරණ කොමිසම අද රැස්වේ

Monday, 14 October 2019 - 12:31

%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+10+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් අද පස්වරු 2.30 ට පැවැත්වෙනවා.

ඒ, එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි කොමිෂන් සභා පරිශ්‍රයේදියි.

ලබන මස 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන කටයුතුවල මෙතෙක් ප්‍රගතිය විමසා බැලීම මෙහිදී සිදුවනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

එසේම පසුගියදා පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී සුදුසුකම් ලබන කාන්තා නියෝජනයන් සම්බන්ධයෙන් වන උපදෙස් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයාට සහ පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දීම පිළිබඳවද මෙහිදි අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළේ එම කටයුතු ලබන මස 6 වනදාට පෙර අවසන් කිරීමට නියමිත බවයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත්වීමත් සමඟ ඒ සඳහා වන ඡන්ද පත්‍රිකාව අඟල් 26 ක පමණ දිගින් යුක්ත බව මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර ප්‍රකාශ කළා.

ඒ අනුව සැළසුම් කළ ආකාරයට වඩා ඡන්ද පත්‍රිකාව දිගින් වැඩිවීම තුළ ඊට අදාළ කාර්යයන් යළි සකස් කිරීමට සිදුව ඇති බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනිය කියා සිටියේ.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් එක්කෝටි 59 ලක්ෂ 92,000 ක් සුදුසුකම් ලබා සිටිනවා.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් 10 කට පමණ ආරාධනා කර තිබෙනවා.

ඉන්දියාව සහ කොරියාව ඇතුලු රටවල් 10 ක නිරීක්ෂකයින් ඊට අයත්.

මීට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලය සහ යුරෝපා සංගමය නියෝජනය කරමින් වෙනම නිරීක්ෂකයින් මෙවර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් සහභාගිවීමටද නියමිතයි.

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 513 ක් වාර්තා වී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories