සමෘද්ධි නිලධාරීන්ට ලක්ෂ 10ක චෙක්පත් - ඡන්ද කොමිසම පරීක්ෂණ අරඹයි

Monday, 21 October 2019 - 19:31

%E0%B7%83%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+10%E0%B6%9A+%E0%B6%A0%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ට ලබාදීමට සූදානම් වූ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ණය මුදල් චෙක්පත් මැතිවරණ කොමිසමේ නිළධාරීන්ගේ පැමිණීමෙන් අත්හිටුවා තිබෙනවා.

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිදුකළ මෙම උත්සවය ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණේ බත්තරමුල්ල - සුහුරුපායේ ගොඩනැගිල්ලකයි. උත්සවය ආරම්භ කිරීමෙන් පසු ලද තොරතුරු අනුව මැතිවරණ කොමිසමේ නිළධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර, ඒ අනුව උත්සවය නතර කිරීමට එය සංවිධානය කළ නිළධාරීන්ට සිදුවුණා.

ඒ හේතුවෙන් අදාළ චෙක් ලබාදීමට  අමාත්‍යවරයාට හැකියාවක් ලැබී නැහැ.

පසුව උත්සවය ආරම්භ කරන අවස්ථාව පිළිබඳව එය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ගේ කැමරාවල පටිගත වී තිබු තොරතුරු එහි සිටි ආරක්ෂක නිළධාරින් විසින් මකා දමා ඇති බව සඳහන්.                           

එසේම සමෘද්ධි අධිකාරිය තුළ හිමිකම්පත් පිිළියෙල කරමින් සිටීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව වැඩිදුර විමර්ශන සඳහා මැතිවරණ කොමිසම් සභාවේ නිලධාරීන් අද පස්වරුවේත් එම අධිකාරිය වෙත පැමිණියා.

ඒ පෙරේදා දිනයේදී එම ස්ථානයට පැමිණි මැතිවරණ කොමිසමේ නිලධාරීන් අදාළ හිමිකම් පත්‍ර ලබාදීම තාවකාලිකව නතර කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමටයි.

එමෙන්ම, මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අද යළිත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පැමිණියා.

ඒ, මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එම ආයතනයට අයත් වාහන අවභාවිතා කරන බවට මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලට අනුව සිදුකරන විමර්ශනයට අදාළවයි.

මේ අතර, අමාත්‍ය සජිත් ප්‍රේමදාසට එරෙහිව සිංහලේ ජාතික සංවිධානයේ මහලේකම් පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසම් සභාවට අද පැමිණිල්ලක් සිදු කළා.

එමෙන්ම, කොළඹ ආනන්ද විද්‍යාලයේ අභිනව සත්මහල් ගොඩනැගිල්ලේ වැඩ අවසන් නොකර හෙට දිනයේ අනාරක්ෂිත ලෙස විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සැළසුම් කර ඇති බවට චෝදනා කරමින් විද්‍යාලයේ සිසු දරුවන්ගේ දෙමාපියන් සහ ආදි ශිෂ්‍ය සංගමය අද එම විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

ඔවුන් අද පෙරවරු හතේ සිට පැය දෙකකට ආසන්න කාලයක් විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූ බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

විරෝධතාවයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරිම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය, පාසල් සංවර්ධන සමිතියේ සමාජිකයන්, අධ්‍යාපන අමාත්‍යංශයට සහ මැතිවරණ කොමිසම් සභාවට පැමිණියා.

ඒ අනුව අද පස්වරුවේ මැතිවරණ කොමිසම් සභාවේ නිළධාරින් කොළඹ ආනන්ද විද්‍යාලයට පැමිණ හෙට පැවැත්විමට සැලසුම් කර තිබු විවෘත කිරිමේ උත්සවය අත්හිටුවා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories