ආණ්ඩුව භාරදීමට එජාපය සූදානමින්

Monday, 18 November 2019 - 18:53

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
නව ජනාධිපතිවරයා වෙත ආණ්ඩුව භාරදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවකදීයි. ඊට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂ නායකයින්, අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් එක්ව සිටියා.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස එක්ව සිට නැහැ.

පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම ගැන පාර්ලිමේන්තු කණ්ඩායමේ මතය විමසීම හා ආණ්ඩුවක් ලෙස ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර, ජනාධිපතිවරණයේ පරාජය පිළිගනිමින් ඊයේ මෙන්ම අද දිනයේදීත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වන බව නිවේදනය කළා.

ඒ අනුව, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සහ අග්‍රාමාත්‍යවරයා වෙත විශේෂ ලිපියක් යොමුකරමින් සඳහන් කළේ ජනමතයට ගරු කරමින් අද සිට බලපැවැත්වෙන පරිදි තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

එසේම, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව අශෝක් අබේසිංහ ද ප්‍රකාශ කර තිබුණා.

මේ අතර, අමාත්‍යවරුන්ගේ පූර්වාදර්ශ අනුව යමින් අග්‍රාමාත්‍යවරයා ද, සිය ධුරයෙන් ඉල්ලා අස්වී, නව අග්‍රාමාත්‍යවරයෙකු හා අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගැනීමට ඉඩ සලසා දිය යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අවධාරණය කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories