ස්විස් තානාපති නිලධාරිනිය, අදත් රහස් පොලීසියට

Monday, 09 December 2019 - 19:23

%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
පැහැර ගැනීමට ලක්වූ බව කියන මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට දේශීය  නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් අද දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දුන්නා.

ඊට පෙර ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ද ඉදිරිපත් කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ අදාළ නිලධාරිනිය අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගත වීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය ලබන බ්‍රහස්පතින්දා දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.

ඒ, එම සිදුවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයේ කරුණු දැක්වූ අවස්ථාවේදීයි.

කිසියම් පිරිසක් විසින් පැහැර ගැණුනු බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවා ගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන ගානියා බැනිස්ට ෆ්‍රැන්සිස් නම් කාන්තාව සිද්ධියෙන් දින 14 කට පසු ප්‍රථම වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ පෙනී සිටියා.

එ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අද දිනට පෙර එහි පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදී තිබූ නියෝගයකට අනුවයි.

එ අනුව, ඊයේ පස්වරු 2.30ට පමණ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරින් පිරිසක් සමඟ පැහැර ගැණුනා යැයි පවසන තැනැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබූ අතර, එහිදී අනන්‍යතාවය තහවුරු කර ගත නොහැකි ආකාරයෙන් මුහුණු ආවරණය කර ගත් පුද්ගලයෙකු එම දෙපාර්තමේන්තුව තුළට කැටුව යන ආකාරයක් ද දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, පැය 5 ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව අදාළ නිලධාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබුණා.

මේ අතර, එම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ අද යළි කැඳවනු ලැබුවා.

එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දක්වමින් සහකාර පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ සඳහන් කළේ අධිකරණ නියෝගයට අනුව, ප්‍රකාශයක් ලබාදීම සඳහා අදාළ නිලධාරිනිය ඊයේ පස්වරු 2.20ට පමණ තම දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි.

කෙසේ වෙතත්, ඊයේ දින ඇයගෙන් මූලික ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කරනු ලැබුව ද, එය අවසන් කිරීමට කාලය ප්‍රමාණවත් නොවූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදී පැහැර ගැනීමට ලක්වූවායැයි පැවසෙන නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම සඳහන් කළේ ඇයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී ප්‍රකාශ ලබා ගන්නේ ද වෙනත් ස්ථානයකදී ප්‍රකාශ ලබා ගන්නේ ද යන්න තම පාර්ශවයට දැනුම්දීම ප්‍රමාද වූ බවයි.

එ සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ පොලීසිය අතර පසුගිය සතිය පුරා සාකච්ඡා පැවති බව ද අවසානයේ ඊයේ පෙරවරු 11 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී ප්‍රකාශ ලබා ගත හැකි බව දැනුම් දුන් බව ද නීතිඥවරයා අධිකරණයේදී සඳහන් කළා.

පැහැර ගැනීමට ලක්වූ තම සේවාදායිකාව ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට සම්බන්ධ විදේශීය සහ දේශීය වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් පරීක්ෂාවට භාජනය කර වාර්තාවන් ලබා ගෙන ඇති බවත්, එ ඔස්සේ පැහැර ගැනීමෙන් පසු ඇය පහරදීම්වලට සහ ලිංගික අපයෝජනයට ලක්වී ඇති බව අනාවරණ වී ඇති බවයි නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ප්‍රශ්න කළේ එම නිලධාරිනිය අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගත්තේ ද යන්නයි.

එයට පිළිතුරු ලබාදෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සඳහන් කළේ ඇය ඊයේ දින එම දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් පසු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කළ ද ඇය පිරිමි වෛද්‍යවරයෙකු හමුවේ කායික පරීක්ෂණයකට භාජනය වීමට අකමැත්ත ප්‍රකාශ කළ බවයි.

එ හේතුවෙන් ඊයේ දින එම පරීක්ෂණය සිදුකිරීමට නොහැකි වූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළා.

තම සේවාදායිකාව කායික වෛද්‍ය පරීක්ෂණයකට පිරිමි වෛද්‍යවරයෙකු ඉදිරියේ පෙනී සිටීමට අකමැති බැවින් ඇයගේ ඉල්ලීම සලකා බලා කාන්තා වෛද්‍යවරියක් ඉදිරියේ ඇයට අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීමට හැකිවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි නීතිඥ උපුල් කුමාරප්පෙරුම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය තුළ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ සිදුකරනු ලබන්නේ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සිටින පිරිමි වෛද්‍යවරුන් බැවින් එවැනි නියෝග නිකුත් කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවයි.

කෙසේ වෙතත්, ඊයේ දින ලබා ගන්නා ලද ප්‍රකාශයේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම සඳහා එම තැනැත්තියට අද දිනද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇති බවයි විමර්ශන නිලධාරින් අධිකරණයට කරුණු වාර්තා කළේ.

එලෙස පැමිණි අවස්ථාවේ ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කාන්තා වෛද්‍යවරියක් හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී දැනුම් දුන්නා.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ පැහැර ගැණුනේ යැයි සැලකෙන එම තැනැත්තිය යහපත් මානසික මට්ටමක පසු නොවන බව මින් පෙර විත්ති පාර්ශවයේ නීතිඥයින් අධිකරණයේදී කරුණු දක්වා ඇති බැවින් ඇය මානසික වෛද්‍ය මඩුල්ලක් හමුවට යොමුකර වාර්තාවක් කැඳවිය යුතු බවයි.

එහිදී තානාපති කාර්යාල නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ තම සේවාදායිකාව ප්‍රකාශයක් ලබාදීමට සුදුසු මානසික මට්ටමක මේ වනවිට පසුවන බවයි.

එම කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න එම නිළධාරිනිය කිසියම් පහරදීමකට හෝ ලිංගික අපයෝජනයකට ලක්ව ඇත්ද යන්නත් මෙම අවස්ථාවේ ඇය කිසියම් මානසික පීඩනයකින් පසුවන්නේ ද යන්නත් පරීක්ෂා කර, වාර්තා කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරින්ට නියෝග කළා.

එම නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය විසින් තම සේවාදායිකාවට පනවා ඇති විදෙස් ගමන් තහනම හැකි ඉක්මනින් ඉවත් කර ගැනීමට අවශ්‍ය බව මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නා.

එම ඉල්ලීමට පිළිතුරු ලබාදෙමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් එම තැනැත්තියගේ මූලික ප්‍රකාශ සටහන් කර ගැනීම හෝ මෙතෙක් අවසන් වී නොමැති බැවින් ඇයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම තුළ සමස්ත විමර්ශන ක්‍රියාවලියටම බලපෑම් එල්ල විය හැකි බවයි.

එබැවින් එම විදෙස් ගමන් තහනම ඉවත් කිරීම පිළිබඳ මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු එම ඉල්ලීම සලකා බැලිය හැකි බව සඳහන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද දිනය දක්වා පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන 12 වනදා දක්වා දීර්ඝ කිරීමට නියෝග කළා.

මේ අතර, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඇයගේ නියෝජිතයෙකු බව පැවසූ මංජුල පෙරේරා නැමැත්තා සඳහන් කළේ අදාළ නිලධාරිනිය අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරන බවයි.

බාන්ස් පෙදෙසේ ලිපිනයක් ද සදහන් කළ ඔහු එම අවස්ථාවට පැමිණෙන ලෙස එහි සිටි මාධ්‍යවේදීන්ට ආරාධනාවක් ද සිදුකළා.

ඒ අනුව මාධ්‍යවේදීන් අද උදෑසන ඔහු පැවසූ ලිපිනය සඳහන් නිවසට ගිය ද එහි අදාළ තානාපති කාර්යාල නිලධාරිනිය හෝ ඇයගේ නියෝජිතවරයා සිටියේ නැහැ.

එම අවස්ථාවේ අදාළ නියෝජිතයා ඊයේ ලබාදුන් ප්‍රකාශය ඇතුළත් වීඩියෝපටය නිවසේ ආරක්ෂක නිලධාරියාට පෙන්වා තිබෙනවා.

එහිදී ආරක්ෂක නිලධාරියා එම පුද්ගලයා හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රකාශ කළේ් තානාපති කාර්යාල නිලධාරිනිය හෝ අදාළ පුද්ගලයා දින කිහිපයකින් එම නිවසට නොපැමිණි බවයි.

මේ අතර, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියගේ නියෝජිතයෙකු බව පැවසූ මංජුල පෙරේරා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණේ සී.ඒ.එෆ් - 0165 දරණ මෝටර් රථයෙන්. හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ එම මෝටර් රථය අංක 78/2 දේවාල පාර, මාකොළ - උතුර - මාකොළ යන ලිපිනයේ ලියාපදිංචි වී ඇති බවයි.

කෙසේ වෙතත්, එම නිවස වසර 8ක් පමණ මුළුල්ලේ වසා දමා ඇති බවයි අසල්වාසීන් ප්‍රකාශ කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories