කථානායක කරූ සහ රනිල් අතර තවත් හමුවක්

Sunday, 19 January 2020 - 6:52

%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%96+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
කතානායක කරූ ජයසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ඊයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇති අර්බුදය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, කථානායකවරයා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ද සමඟද පෙරේදා සාකච්ඡාවක නිරතවුණා.

එහිදී කථානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු සියලුම පාර්ශව වෙත ප්‍රකාශ කර ඇත්තේ තනිව කටයුතු කිරීමට නොසිටිය යුතු අතර, එලෙස ක්‍රියා කළහොත් සියලු දෙනාම දුර්වල වන බවයි.

දර මිටියක් මෙන් සමගියෙන් එක්වන ලෙසත්, එය එකට බැඳ තබන බැම්ම වීමට තමා සූදානම් බවත් මෙහිදී කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමඟ කතානායක කරූ ජයසූරිය තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පක්ෂ අර්බුදය ගැන තවදුරටත් එහිදී සාකච්ඡා සිදුවන අතර, අද දිනයේදී හෝ හෙට දිනයේදී කතානායකවරයා, රනිල් වික්‍රමසිංහ සමඟ මෙලෙස සාකච්ඡා කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම, පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා පසුගිය 16 වැනිදා පැවති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම විසඳුමකින් තොරව අවසන් වුණා.

එසේම, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කථානායක කරූ ජයසූරිය අතර හමුවක් පැවැත්වීමටද එහිදී තීරණය වූ බවයි වාර්තා වන්නේ.

මේ අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස පිළිගන්නා බවට එම පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් ප්‍රකාශ කර තිබුණා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් ගෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහු කියා සිටියේ එම තීරණය සම්බන්ධයෙන් තමා දැනුවත්වී නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් පක්ෂය ගන්නා තීන්දු තීරණ පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි අතර, ඉදිරියේදී පක්ෂයේ මතය ප්‍රකාශ කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories