උදයංග වීරතුංග යළි රිමාන්ඩ්

Monday, 17 February 2020 - 16:08

%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%E0%B6%82%E0%B6%9C+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මේ මස 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද නියෝග කළා.

ඒ, මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවට අදාළ නඩුව කැදවූ අවස්ථාවේදීයි.

කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ අද උදෑසන නඩුව කැදවූ අවස්ථාවේදී විත්තියේ නීතීඥවරුන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥවරුන් පැමිණි නොසිටි අතර, ඒ හේතුවෙන් නඩුව පස්වරු දෙක දක්වා කල් තබන බවයි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ.

අද පෙරවරුවේ උදයංග වීරතුංග කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබුණේ බන්ධනාගාර බස් රථයෙන්.

පස්වරුවේ නඩුව කැදවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ සාමාන්‍යයෙන් නඩුවක සිටිය යුත්තේ පැමිණිල්ල සහ විත්තිය යන දෙපාර්ශවයක් වුවද, මෙම නඩු කටයුත්තේදී පැමිණිල්ලේ ද පාර්ශව දෙකක් සිටින බව නිරීක්ෂණය වන බවයි.

නීතිපති දෙපාර්තමේන්තුව සහ විමර්ශන නිලධාරින් දෙපිලක්ව කටයුතු කිරීම විමර්ශනවලට බාධාවක් බව ද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක එහිදී පෙන්වා දුන්නා.

පොදු දේපල පනතේ 8 වන වගන්තියේ සදහන් පරිදි අදාළ වරදින් සිදුව ඇති අලාභය රුපියල් 25,000 කට අධික නම් පොලිස් අධිකාරිවරයෙකු හෝ ඊට ඉහල නිලධාරියෙකු විසින් නිර්දේශ කළ සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවද, එය අද දිනයේ විමර්ශන නිලධාරින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

එම මිග් යානා ගනුදෙනුවට අයුතු ලෙස මැදිහත් වී ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් මිලියන 7කට අධික පාඩුවක් සිදුකිරීම ඇතුළු චෝදනා පැමිණිල්ලෙන් පෙන්වා දී ඇතත්, පොදු දේපල පනත යටතේ ගැනෙන වරදක් සිදුවූ බවට අධිකරණයට ඉදිරිපත් කළ යුතු සහතිකය හෝ විමර්ශන නිලධාරින් ඉදිරිපත් කර නොතිබීම මහේස්ත්‍රාත්වරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට එරෙහිව සිදුකළ විමර්ශන පොදුදේපල පනත යටතට ගැනෙන්නේ නම් ඔහු අත්අඩංගුවට ගත් පසුව ද සිදුකරන පරීක්ෂණ එම පනතට අදාළ විය යුතු බව ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී සඳහන් කළා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේ එම පනත යටතේ බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මිග්යානා ගණුදෙනුවේදී ශ්‍රී ලංකා රජයට සිදුව ඇති අලාභය සනාථ කිරීමට අවශ්‍ය සහතික පවා විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබීම ගැටලූ සහගත බවයි.

එමෙන්ම, නීතිපතිවරයා ලබාදෙන උපදෙස් පොලීසිය පිලිපදින්නේ නොමැති නම්, මින් ඉදිරියට නීතිපති උපදෙස් ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීම් නොකරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරින්ට දැඩිව අවවාද කළා.

වසර 5 කට ආසන්න කාලයක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කළ ප්‍රධාන විමර්ශන නිලධාරියා වන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් සහ එම විමර්ශන අධීක්ෂණය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඉදිරි විමර්ශන සදහා යළි යෙදවීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළා.

එලෙස කටයුතු නොකරන්නේ නම් ඒ කුමන හේතුවක් මත ද යන්න අධිකරණයට දැනුම් දෙන ලෙස ද, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කරනු ලැබුවා.

මෙහිදී රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඉල්ලා සිටියේ තම සේවාදායකයාට එරෙහිව පොදු දේපල පනත යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් ඔහුට ඇප ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත්, සැකකරු සිදුකර ඇති වරදේ බරපතලකම අනුව, ඔහුට ඇප ලබාදීමෙන් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බව පෙනී යන බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු මේ මස 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කටුනායක ගුවන් තොටුපළේදී උදයංග වීරතුංග, පසුගිය 14 වනදා අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර, ඔහු බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කෙරුණේ රෝගී තත්ත්වයක් හේතුවෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories