update : CCTV ගැලවූ කැළණි සරසවියේ සභාපති හිමි ඇතුළු 4ක් රිමාන්ඩ්

Friday, 28 February 2020 - 12:11

update+%3A+CCTV+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
කැළණිය විශ්වවිද්‍යාලයේ සවි කර තිබූ සී.සී.ටී.වී කැමරා පද්ධතිය ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමියන් ඇතුළු සිසුන් 4 දෙනා ලබන 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොදු දේපල පනත යටතේ සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇති අතර, සී.සී.ටී.වී පද්ධතිය විනාශ කිරීමේ පාඩුව ලෙස රුපියල් ලක්ෂ 26ක තක්සේරු වාර්තාවක් ද පොලීසිය අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 12 දෙනෙකු ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැරුණා.

විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා ස්ථාපිත කර තිබූ සී.සී.ටී.වී කැමරා 14 ක් බලහත්කාරයෙන් මෙලෙස ඉවත් කර තිබුණේ ශිෂ්‍ය මර්දනය සඳහා මෙම කැමරා උපයෝගි කර ගන්නා බව පවසමින්.

එසේම, මෙම සිද්ධියට සම්බන්ධ සිසුන් 25 දෙනෙකුට වසර දෙකක පන්ති තහනමක් පනවා තිබෙනවා.

එමෙන්ම, කැළණිය විශ්වවිද්‍යාලයේ 2017 - 2018 අධ්‍යයන වර්ෂය හෙටින් අවසන් වන බැවින් පෙරවරු 8 ට පෙර සියලූ සිසුන්ට නේවාසිකාගාර වලින් ඉවත් වන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම්දී තිබෙනවා.

එමෙන්ම, සති අන්ත පශ්චාත් උපාධි පාඨමාලා, ඩිප්ලෝමා සහ සහතික පත්‍ර පාඨමාලා මෙන්ම, ඊට අදාළ ඇතුළු සියලූ විභාග නැවත දැනුම්දෙනතුරු නොපැවැත්වෙන බව ද එම විශ්වවිද්‍යාලය සඳහන් කළා.

මේ අතර, රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මර්දනය නතර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ ආරම්භ කළ අඛන්ඩ සත්‍යග්‍රහය මේ වනවිටත් ක්‍රියාත්මකයි.

මහජන පීඩාවන් ඇති නොවන ලෙස කටයුතු කරන ලෙසට අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබියදීයි ඔවුන් මෙලෙස අඛන්ඩ සත්‍යග්‍රහයේ නිරත වන්නේ.

එම ස්ථානයට ඊයේ රාත්‍රියේ පොලිස් නිලධාරින් පැමිණ අදාළ අධිකරණ වාරණය පිළිබඳ දැනුම්දෙන අවස්ථාවේ විශ්වවිද්‍යාල සිසුන් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

update : Friday, February 28, 2020 : 01.19 PM
----------------------------------------------------

CCTV කැමරා ඉවත් කළ, කැළණියේ සිසුන් 25කට වසර 2ක් පන්ති තහනම් - අන්තරේ තවමත් අට්ටාලයේ

කැලණිය විශ්වවිද්‍යාලයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා ගලවා ඉවත් කළ සිසුන් 25 දෙනා සඳහා වසර දෙකක පන්ති තහනමක් ක්‍රියාත්මක කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ නිවේදනය කළේ හෙට පෙරවරු අටේ සිට විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය සියලුම සිසුන්ට තහනම් කලාපයක් බවටද පත්කර ඇති බවයි.

එසේම, නේවාසිකාගාරවල සිටින සිසුන් හෙට පෙරවරු අටට පෙර ඉන් ඉවත්විය යුතු වනවා. සති අන්ත පශ්චාත් උපාධි පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, සහතික පත්‍ර පාඨමාලා සහ ඊට අදාළ සියලු විභාග නැවත දැනුම්දෙන තුරු කල් දමා ඇති බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමියන් ඇතුළු 04 දෙනාද අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මීට සම්බන්ධ සිසුන් 16 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් අතර, ඉන් 12 දෙනෙකු පසුව පොලිස් ඇපමත මුදා හරිනු ලැබුවා.

අත්අඩංගුවට ගත් පිරිස වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල කිහිපයක් ඉදිරිපිට අද විරෝධතා ක්‍රියාත්මකයි.

මේ අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, ඔවුන්ට ලබාදී ඇති අධිකරණ නියෝගද නොතකමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට තවදුරටත් සත්‍යග්‍රහයේ නිරත වනවා.

ඒ, නවක වදය ලබාදීම ඇතුළු සිද්ධීන් කිහිපයක් මුල්කරගනිමින් රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු සිසු ක්‍රියාකාරීන්ට ලබාදී ඇති ශිෂ්‍යහාවය අහෝසි කිරීම් අත්හිටුවන ලෙස ඉල්ලමින්.

කෙසේ වෙතත්, ඊයේ රාත්‍රියේ පොලිස් නිලධාරීන් කොළඹ අළුත්කඬේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගය එම ස්ථානයේ ප්‍රදර්ශනය කිරීමට යාමේදී සිසුන් සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories