අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ අධිකාර පත්‍රයට ජනපති අත්සන් තබයි.

Sunday, 13 January 2013 - 13:36

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92.

අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක එම තනතුරෙන් ඉවත් කිරීමේ අධිකාර පත්‍රයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් කර තිබෙනවා. ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ජනාධිපතිවරයා අද (13) මෙම අධිකාර පත්‍රයට අත්සන් කර එය අගවිනිසුරුවරියගේ නිල නිවසට යවා ඇති බවයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු සහ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙකු විසින් ජනාධිපතිවරයා විසින් අත්සන් තැබූ එම අධිකාර පත්‍රය අගවිනිසුරුවරිය වෙත භාර දුන් බව ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා.

අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේදී පසුගිය සිකුරාදා තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කෙරුණා. ඉන් පසුව එදින පස්වරුවේම පාර්ලිමේන්තුවේ තීරණය කථානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යොමුකෙරුණු අතර ඒ අනුවයි ජනාධිපතිවරයා මෙම අත්සන් කිරීම සිදුකර ඇත්තේ.

2011 වසරේ මැයි 18 වන දා ශ්‍රී ලංකාවේ 43 වන අගවිනිසුරුවරයා ලෙස දිවුරුම් දෙන ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග යෝජනාව කථානායකවරයා වෙත භාර දුන්නේ පසුගිය නොවැම්බර් 01 වන දායි. චෝදනා 14කින් සමන්විත අදාළ යෝජනාවට මන්ත්‍රීවරුන් 117 දෙනෙකු අත්සන් කර තිබුණා. එය විමර්ශනය කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන බව කථානායක චමල් රාජපක්ෂ නොවැම්බර් 06 වන දා ප්‍රකාශයට පත් කළා. 11 දෙනෙකුගෙන් සමන්විත තේරීම් කාරක සභාව ආණ්ඩු පක්ෂ සාමාජිකයන් 7 දෙනෙකුගෙන් සහ විපක්ෂ සාමාජිකයින් 4 දෙනෙකුගෙන් සමන්විත වූ අතර එහි සභාපතීත්වය හිමි වුණේ අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයාටයි.

එම තේරීම් කාරක සභාව නොවැම්බර් 14 වන දා පළමු වරට රැස්වූ අතර අගවිනිසුරුවරිය නොවැම්බර් 23 වන දා ප්‍රථම වරට තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටියා. දෙසැම්බර් 6 වන දා තුන් වන වරට එලෙස පෙනී සිටි අවස්ථාවේදී අගවිනිසුරුවරිය තේරීම් කාරක සභාවෙන් ඉවත්ව යන්නේ චෝදනා විමර්ශනය පිළිබද තමාට විශ්වාසයක් නැතැයි පවසමින්. දෙසැම්බර් 7 වන දා තේරීම් කාරක සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් 4 දෙනා ද ඉන් ඉවත්ව ගියා. කෙසේ වෙතත්, එහි සභාපති අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා එහි අවසන් වාර්තාව දෙසැම්බර් 8 වන දා කථානායකවරයා වෙත භාර දුන් අතර විමර්ශනය කළ කරුණු 5කින්, 1, 4 සහ 5 යන චෝදනා තහවුරු වූ බව එහිදී හෙළි වුණා.

එම චෝදනා වුණේ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් දේපල සමාගමකින් බලය අයුතු ලෙස භාවිත කරමින් ඥාතියෙකු වෙනුවෙන් නිවසක් මිලට ගැනීම, බැංකු ගිනුම් 20 කට අධික සංඛ්‍යාවක් පිළිබඳ වත්කම් හෝ බැරකම් හෙලි නොකිරීම සහ ස්වාමි පුරුෂයා අල්ලස් හෝ දූෂන චෝදනා නඩුවක චුදිතයෙකු වීම යන කරුණුයි.
 
දෝෂාභියෝග වාර්තාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන්නේ පසුගිය 10 සහ 11 යන දෙදින තුළයි. එම විවාදයෙන් අනතුරුව පැවති ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්ද 106 කින් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 155 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 49 ක් පමණයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ තීරණය පසුගිය සිකුරාදා රාත්‍රියේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කළා. අනතුරුවයි ජනාධිපතිවරයා අද අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක එම තනතුරෙන් ඉවත් කිරීමේ අධිකාර පත්‍රයට අත්සන් කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories