චෙන්නායි හි පිහිටි ලංකා බැංකු ශාඛාවට ඊයේ (07) පස්වරුවේ කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මෙම ප්‍රහාරයෙන් බැංකුවේ සේවකයෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු ද තුවාල ලබා ඇති බවයි. එම අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න අමුණුගම සඳහන් කළේ චෙන්නායි හි ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කළ බවයි. එමෙන්ම, චෙන්නායිහි ලංකා බැංකු ශාඛා ගොඩනැගිල්ලට විශේෂ ආරක්ෂාවක් ද එරට ආරක්ෂක බලධාරින් විසින් යොදා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර සිටියා.
ඉන්දීය වේලාවෙන් ඊයේ පස්වරු 1.30 ට පමණ චෙන්නායි නුවර, කාසා පාරේ, ජාරට් උද්‍යානයේ පිහිටි ලංකා බැංකු කාර්යාලය වෙත ත්‍රිරෝද රථ සහ යතුරුපැදිවලින් පැමිණි මුහුණු ආවරණය කර ගත් පුද්ගලයන් 12 දෙනෙකු පමණ ප්‍රහාරයට එක්ව ඇති බව හින්දු පුවත්පත ප්‍රකාශ කළා. එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරින් දෙදෙනා තල්ලූ කර දමා මුරකුටියට හානි සිදුකළ ඔවුන් බැංකුවේ නාම පුවරුව ද විනාශ කර තිබෙනවා. පසුව, එහි පළමු මහලට කඩා වැදුණු ඔවුන් එහි සේවය කර මරිය රාජේශ් නමැති ලිපිකරුට සහ ජනගන් නමැති පුහුණු ශිෂ්‍යයෙකුට පොලූමුගුරුවලින් සහ වීදුරු කැබලිවලින් පහරදී තිබෙනවා. ඉන්පසු, එහි තිබූ අතට අසුවන සියලූදෑ පොළොවේ ගැසීමෙන් අනතුරුවයි ඔවුන් නික්ම ඇත්තේ. කෙසේ නමුත් මොවුන් බැංකුවේ මුදල් තැන්පත් කර ඇති දෙවැනි මහලට පිවිසී නැහැ. මේ සියල්ල ආරක්ෂක කැමරාවල සටහන් වී ඇති බව හින්දු පුවත්පත සඳහන් කළා. ඉන්දීය පොලිසිය සඳහන් කළේ මෙම ප්‍රහාරය එල්ල කළ කණ්ඩායම දැනටමත් හඳුනාගෙන ඇති බවයි. මේ අතර, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය චාරිකාවට විරෝධතාවක නිරත වීම නිසා ඊයේ උදෑසන අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් 15 දෙනෙකු පසුව ඇප මත මුදා හැර තිබෙනවා.
[JPG]52961_1[/JPG]
[JPG]52961_2[/JPG]
[JPG]52961_3[/JPG]
Follow US
Most Viewed Stories