ජිනිවා යෝජනාව ගැන ඉන්දියාවේ තීරණය අද.

Tuesday, 19 March 2013 - 8:04

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF.

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනිවා මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් වී ඇති ඇමරිකානු යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියාවේ තීරණය අද (19) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එහිදී යෝජනාවට පක්ෂ වන ලෙස තමිල්නාඩුවේ දෙමළ දේශපාලන පක්ෂවලින් එල්ල වන්නේ දැඩි බලපෑමක්. කොංග්‍රස් සන්ධානයේ ප්‍රධාන සහාය පක්ෂයක් වන්නේ කරුණානිධිගේ තමිල්නාඩු ඩී.එම්.කේ. පක්ෂයයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව ගැන තීරණයක් ගැනීමට පෙර අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං රජයේ අමාත්‍යවරුන් තුන් දෙනෙක් ඊයේ (18) ඩී.එම්.කේ පක්ෂ නායක කරුණානිධි මුණ ගැසුණා. ඉන්දීය මුදල් අමාත්‍ය පී. චිදම්බරම්, ආරක්ෂක ඇමති ඒ.කේ. ඇන්තනි සහ සෞඛ්‍ය ඇමති නබි අසාඩ් එම අමාත්‍යවරුන් තුන්පොළයි. චෙන්නායි නුවර පැවැති මෙම සාකච්ඡාවේදී සිය ඉල්ලීම් සපුරාලීමට කොංග්‍රස් රජයේ අමාත්‍යවරුන් සහතික වූ බවයි කරුණානිධි ප්‍රකාශ කළේ. කෙසේ නමුත් මෙහිදී එකඟතාවක් ඇති කර ගැනීමට දෙපාර්ශවය අපොහොසත් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය සදහන් කළා.

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට පක්ෂපාතී වනවා පමණක් නොව එය දැඩි ස්වරයකින් ඉදිරිපත් කිරීම සහතික කළ යුතු බවට ද ඩී.එම්.කේ. පක්ෂය ඉල්ලීමක් කළා. ඒ සඳහා එකඟත්වය පළ නොකළහොත් සන්ධාන රජයෙන් ඉවත් වන බවට ද කරුණානිධි තර්ජනය කළා. ශ්‍රී ලංකාව පිළිබද ඇමරිකානු යෝජනාව සම්බන්ධයෙන් ජිනිවා මානව හිමිකම් සමුළුවේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ 22 වැනිදායි. ඊයේ (18) සවස් කාලය වන තුරු ඇමරිකානු යෝජනාවේ අවසන් කෙටුම්පත තමන් වෙත ලැබී නොතිබුණු බව ඉන්දියාව සදහන් කළා. එම කෙටුම්පත ලැබුණු පසු ජිනිවා නුවර ඉන්දියානු නිත්‍ය නියෝජිත දිලිප් සිංහ අද (19) ඉන්දියාවට පැමිණීමට නියමිතයි.

මේ අතර, තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලන පක්ෂවල අනුග්‍රහය මත ශ්‍රී ලංකාවට එරෙහි උද්ඝෝෂණ රැසක් චෙන්නායි නුවර දී ඊයේ (18) පැවැත්වුණා. ආණ්ඩුකාර නිවහන වෙත පෙළපාලියකින් ගමන් කළ ශිෂ්‍යයන් 500කට අධික පිරිසක් චෙන්නායි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මේ අතර මදුරෙයි හිදී දෙමළ ජාතික තරුණයෙකු ශ්‍රී ලංකාවට විරෝධය පළ කරමින් ගිනි තබාගෙන දිවි නසාගෙන ඇති බවයි තමිල්නාඩු මාධ්‍ය සදහන් කළේ.

ශ්‍රී ලංකාවට එරෙහි ජිනිවා යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම ආසන්න වද්දී ශ්‍රී ලංකාව සමග මාර්තු 23 වැනිදා ආරම්භවීමට නියමිත ආරක්ෂක සංවාදය කල් දැමීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. ලේකම් මට්ටමේ මෙම සංවාදය නවදිල්ලියේ දී තුන්දිනක් පුරා පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ. මෙම ආරක්ෂක සංවාදය කල් දැමීමට හේතුව ඉන්දීය රජය පැහැදිලි කර නැහැ. එමෙන්ම එය පැවැත්වෙන නව දින පිළිබදව තීරණයකට එළඹී නොමැති බවයි ඉන්දියාව ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව සමග ආරක්ෂක සබඳතා අත්නොහරින බවටත්, ඉන්දියාව සහතික වී තිබෙනවා. ශ්‍රී ලාංකික ආරක්ෂක අංශවලට ඉන්දියාවේ ආරක්ෂක විද්‍යා ආයතනවල පුහුණුව තවදුරටත් ලබාදෙන බවට ඉන්දියාව සඳහන් කළා.    

මේ අතර, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා වික්ටෝරියා නිව්ලන්ඞ්, වොෂින්ටනයේ ඊයේ (18) පැවැති දෛනික මාධ්‍ය හමුවේදී කියා සිටියේ ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව සම්බන්ධයෙන් ඇමරිකාව අනෙකුත් රටවල් සමග අදහස් හුවමාරු කර ගනිමින් සිටින බවයි. විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් පසුගිය වසරේ ඇමරිකාවට පැමිණ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත්කර නොගතහොත් මෙවැනි පියවරකට එළඹෙන බව ඔබාමා පරිපාලනය ප්‍රකාශ කළේ යැයි ඇය සදහන් කළා.

මේ අතර, නවතම වාර්තා සඳහන් කරන පරිදි ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ දී දැන් සභාගත කර තිබෙනවා. ශ්‍රී ලංකාව පිළිබද විශේෂ සැසි වාරයක් මානව හිමිකම් මණ්ඩලයේ මීළඟ සැසි වාරයේ දී පැවැත්විය යුතු බවට කළ යෝජනාව ඊට ඇතුළත් නොවන බවයි වාර්තා වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories