General16 May 2013

වෙසක් පොහෝ දින ගැන බුද්ධ ශාසන ලේකම්වරයාගේ නිවේදනය විටින් විට සංශෝධනය වේ.

වෙසක් පොහෝ දින පමණක් දන්සැල්, වෙසක් තොරණ, පහන් කූඩු සහ සංදර්ශන නොපැවැත්විය යුතු බවට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනය සංශෝධනය කළ බව ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරිය මීට ස්වල්ප මොහොතකට පෙර සඳහන් කළා.

බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් එම්. කේ. බී . දිසානායකගේ අත්සනින් අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වුණේ මේ මස 24 වැනිදාට යෙදෙන වෙසක් පොහෝ දින සිල් සමාදන් වීම, ධර්ම ශ්‍රවණය හා භාවනා ආදී කටයුතුවල පමණක් යෙදිය යුතු බවයි. වෙසක් තොරණ, පහන් කූඩු, දන්සැල්, මෙන්ම වෙනත් සංදර්ශණද එදින නොකළ යුතු බව එහි සඳහන් වුණා.

එහෙත් බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රප්‍රේම ගමගේ කියා සිටියේ දන්සල් දානමය කටයුත්තක් නිසා වෙසක් පොහෝ දින එවැන්නක් සිදුකිරීම වරදක් නොවන බවයි.

[MP3]s59071[/MP3]

වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් දැනගැනීමට බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් එම්.කේ.බී. දිසානායක ඇමතුවත් ඔහු පැවසුවේ තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බවයි. පසුව ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් ගංගා දිසානායකගෙන් අප මේ සම්බන්ධයෙන් විමසුවා. ඇය කියා සිටියේ වෙසක් පොහොය දිනයට නොකළ යුත්තේ භක්ති ගීත තරඟ, වෙසක් කූඩු තරඟ පැවැත්වීම පමණක් බවයි. විවිධ සංදර්ශනද ඊට අයත් බව ඇය සඳහන් කළා. එහෙත් තොරණ ප්‍රදර්ශනය දන්සල් පැවැත්වීම වෙසක් පොහෝ දින සිදුකළ හැකි බව සඳහන් කරමින් නව නිවේදනයක් නිකුත් කරන බවද ඇය වැඩිදුරටත් කියා සිටියා.

Related recommendation
Hiru TV News | Programmes