General18 May 2013

පළාත් සභාවලින් ඉඩම්, පොලිස් බලතල ඉවත් කරන්න එපා. - ඉන්දියාව.

මෙරට පළාත් සභා ක්‍රමය යටතේ පැවරෙන ඉඩම් සහ පොලිස් බලතල ඉවත් කිරීමට කටයුතු නොකරන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඍජුවම ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව 13 වන සංශෝධනය යටතේ පවතින වගකීම්වලින් ඉවත් නොවන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ. එමෙන්ම 13 වන සංශෝධනය තවදුරටත් සංශෝධනය කිරීමට හෝ ඊට බලපාන කිසිඳු පියවරක් ගැනීමෙන් වැළකී සිටිය යුතු බව ඉන්දියාව කියා සිටිනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් වෙත ඊයේ (17) මෙම දැනුම්දීම කර ඇත්තේ දුරකථන සංවාදයකට එක්වෙමින්.

 
ඉන්දීය රජයේ නිළ ආරංචි මාර්ග උපුටා දක්වමින් පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවය සදහන් කළේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත උතුරු පළාත් සභා මැතිවරණය පිළිබදව විදේශ කටයුතු අමාත්‍යවරුන් දෙදෙනා අදහස් හුවමාරු කර ගත් බවයි. 13 වන සංශෝධනය තවදුරටත් සංශෝධනය නොකරන ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ පළාත් සභා සතු ඉඩම් සහ පොලිස් බලතල ඉවත් කිරීමේ සූදානමක් පවතින බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා ගැන අදහස් දක්වමින්. මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් 26 දෙනා කඩිනමින් නිදහස් කරන ලෙස ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් අමාත්‍ය ජී.එල්. පීරිස් වෙතින් ඉල්ලා තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes