General23 May 2013

පහර කෑ කැළණියේ සභාපති කිරිබත්ගොඩින් රාගමට.

පහරකෑමකින් කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කෙරුණු කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර සහ එහි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී නදීක සම්පත් වැඩිදුර පරීක්ෂණ සඳහා රාගම රෝහල වෙත මාරුකර යවා තිබෙනවා. කිරිබත්ගොඩ රෝහලේ වෛද්‍ය අධිකාරී එස්.ඒ. විතානගේ කියා සිටියේ ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි. අද උදෑසන දළුගම ප්‍රදේශයේදී සිදුවූ මෙම පහරදීමට විරෝධය පළ කරමින් කිරිබත්ගොඩ රෝහල ඉදිරිපිට විරෝධතාවයක්ද සංවිධානය කර තිබුණා. එහිදී අදහස් දැක්වූ කැළණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ලංකා විජිත කුමාර කියා සිටියේ අමාත්‍ය මර්වින් සිල්වාගේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි.


[MP3]s59514[/MP3]                  
 
සිද්ධිය සම්බන්ධයෙන් කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කිරිබත්ගොඩ පොලීසියට පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා. මීට අමතරව පහරදුන් බවට චෝදනා එල්ලවන පුද්ගලයෙකුද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි කිරිබත්ගොඩ පොලීසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන අමාත්‍ය මර්වින් සිල්වා සම්බන්ධ කරගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාදුන්නා. ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයාගේ නිලධාරියෙකු කියා සිටියේ අමාත්‍යවරයා මේ වනවිට විශේෂ සාකච්ඡාවක නිරතව සිටින බවයි.

Related recommendation
Hiru TV News | Programmes