තවත් ධීවර මළ සිරුරු වෙරළට ගොඩ ගසයි. - ආපදාව ගැන සොයන්න ජනපති කමිටුවක්.

Monday, 10 June 2013 - 19:05

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B7%83%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

පසුගිය සති අන්තයේ ඇති වූ හදිසි කාලගුණ විපර්යාසය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ, තුවාල සහ අතුරුදන්වීම් පිලිබඳව සොයා බැලීමට කඩිනමින් කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා. ධීවර මරණ සිදුවීමට බලපෑ හේතු සහ ආරක්ෂාකාරි ක්‍රියාමාර්ග සලසා ගත හැකි වන පරිදි අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව විපතට පත්වූ ජනතාව දැනුවත්ව නොසිටියේ මන්දැයි සොයා බැලීම කමිටුවේ කාර්යභාරයයි. අදාළ වාර්තාව ප්‍රමාදයකින් තොරව තමා වෙත යොමුකරන ලෙසයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

 

මේ අතර, වැසි කුණාටුව හසුව මිය ගිය ධීවරයින්ගේ සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැඩිම ධීවරයින් සංඛ්‍යාවක් මිය ගොස් ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 23ක්. කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ ධීවරයින් 18 දෙනෙකු ද, මීගමුව ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයෙකු ද මිය ගිය අය අතරට ඇතුළත්. ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ප්‍රකාශ කළේ තවදුරටත් ධීවරයින් විසි දෙදෙනෙකු සහ ධීවර යාත්‍රා 44ක් අතුරුදන්ව ඇති බවයි.

 

[MP3]s60715_1[/MP3]                                                                                  

 

වැසි කුණාටුවට හසුවී අතුරුදන්ව සිටි ධීවරයින් 14 දෙනෙකුගේ මළ සිරුරු අම්බලන්ගොඩ සිට අහුන්ගල්ල දක්වා මුහුදු තීරයට ගොඩ ගසා තිබියදී අද (10) සොයා ගැනුණා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ සොයාගත් එම මළ සිරුරු මේ වනවිට බලපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි. අහුන්ගල්ල සහ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල පදිංචි ධීවරයින් වන මොවුන්ගේ මළ සිරුරු සොයා ගන්නා අවස්ථාවේදී දැඩි ලෙස නරක් වී තිබූ බව සදහන්. එම මළ සිරුරු මූලික පරීක්ෂණයකින් අනතුරුව සිරුරු ඥාතීන් වෙත භාර දීමට කටයුතු කරන බව පොලීසිය සදහන් කළා. ඒ සඳහා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ද අහුන්ගල්ල සහ අම්බලන්ගොඩ පොලිස් ස්ථාන විසින් අද (10) දිනයේ ලබාගෙන තිබෙනවා.

 

මේ අතර, ධීවරයන්ගේ මරණ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වගකිව යුතු බව ධීවර සංගම් ප්‍රකාශ කරනවා. අද (10) දිනයේ මාධ්‍ය හමුවක් කැඳවමින් මාතර දිස්ත්‍රික්කයේ ධීවර යාත්‍රා හිමියන්ගේ සමූපකාර සමිතියේ සභාපති ටියුඩර් එදිරිසූරිය කියා සිටියේ වරද පිළිගෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම තනතුරින් ඉල්ලා අස්විය යුතු බවයි.

 

[MP3]s60715_2[/MP3]                                                                          

 

මෙම චෝදනාව පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්. කාරියවසම්ගෙන් විමසීමක් කළා. ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරයයි මේ.

 

[MP3]s60715_3[/MP3]                                                                                   

 

මේ අතර, මෙරට රාජ්‍ය යාන්ත්‍රණයේ කඩා වැටීම, පසුගිය දා මුහුණපෑමට සිදුවූ ආපදා තත්ත්වයෙන් දක්නට ලැබුණු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (10) පැවැති වෘත්තීය සමිති සාමාජික හමුවකට එක්වෙමින්.

 

[MP3]s60715_4[/MP3]                                                                                      

 

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් නව අදහසක් පළ කළා. ඒ, අනුරාධපුරයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.  

 
[MP3]s60715_5[/MP3]        



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories