දුම්රිය වර්ජනය අඛණ්ඩව.

Monday, 08 July 2013 - 19:06

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80.

වැටුප් විෂමතාවයන් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ ජනාධිපති ලේකම්වරයා අතර අද (08) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අසාර්ථක වුණා. දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ සාකච්ඡාවට සහභාගිවීමට තමන් සූදානම්ව සිටියත් එය ආරම්භ වීමට පෙර බලධාරින් කොන්දේසි පැනවීම හේතුවෙන් ඊට සහභාගි නොවීමට තීරණය කළ බවයි. ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කෙරෙන පැය 48 ක සංකේත වැඩවර්ජනයට මේ වනවිට පැය 18 ක් ගතවී අවසන්. දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව දුම්රිය වැඩවර්ජනය පිළිබඳව අදහස් පළ කිරීමට අද (08) පස්වරුවේ මාධ්‍ය හමුවක් ද කැඳවා තිබුණා. ඊට එක්වෙමින් දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න කියා සිටියේ මෙම වර්ජනය හෙට (09) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට ශ්‍රේණිගත වෘත්තීය සමිති තීරණය කර ඇති බවයි. විසඳුම් නොලැබුණහොත්, වර්ජනය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා රැගෙන යාමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියා.  

[MP3]s62611_1[/MP3]                                               

මෙම වර්ජනය සඳහා දුම්රිය රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් හා පාලන අධීක්ෂණ කළමනාකරුවන් එක්ව සිටිනවා. දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු කියා සිටියේ තම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජාතික වැටුප් කොමිසම මෙතෙක් අනුමැතිය ලබා දී නොමැති බවයි. එහෙත්, ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දුම්රිය සේවකයින් ඉල්ලා සිටින වැටුප් තල ප්‍රායෝගිකව ලබා දිය නොහැකි බවයි. මේ නිසා තවදුරටත් ඔවුන් සමග සාකච්ඡා කර ගැටලූවලට විසඳුම් ලබාදීමට තමන් සූදානම් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

[MP3]s62611_2[/MP3]                                       

කෙසේ වෙතත්, මෙම වර්ජනයෙන් දුම්රිය මගීන් දැඩි ලෙස පීඩාවට පත්වුණා. දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් අද (08) දිනයේ ධාවනය කිරීමට හැකිවූයේ දුම්රිය ගමන්වාර 325 න් 9 ක් පමණක් බවයි දුම්රිය ගමනාගමන අධිකාරි එල්.ඒ.ආර්.රත්නායක ප්‍රකාශ කළේ. වෙනදාට මගීන්ගෙන් පිරී ඉතිරී යන කොටුව දුම්රිය ස්ථානයේ පාළු ස්වභාවයක් දක්නට ලැබුණු අතර අද (08) පස්වරුවේ එම දුම්රිය ස්ථානයේ ගේට්ටු ඉබි යතුරු දමා වසා තිබුණා. මහනුවර දුම්රිය ස්ථානයෙන් ද දුම්රිය ධාවනය නොවූ අතර, එහි ගේට්ටු ද ඉබි යතුරු දමා වසා දැමීමටයි එම දුම්රිය ස්ථානයේ නිලධාරින් පියවර ගෙන තිබුණේ. දුම්රිය වර්ජනයෙන් අපහසුතාවයට පත්ව සිටි මගීන් හිරු ප්‍රවෘත්ති අංශයට දැක්වූ අදහසයි මේ.

[MP3]s62611_3[/MP3]                             

මේ අතර ඉදිරි දින 4 ඇතුළත දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට අවතීර්ණ වීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සූදානම් වනවා. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ජූලි මස පළමුවැනිදා සිදුකිරීමට නියමිතව තිබූ බස් ගාස්තු සංශෝධනය මෙතෙක් ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය සිදුකරන බවයි.

[MP3]s62611_4[/MP3]        


වාර්ෂික බස් ගාස්තු සංශෝධනය පිළිබඳව බස් සංගම් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතරද අද (08) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණා. ඊට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහභාගි නොවන බවයි එම සංගමය ඊයේ ප්‍රකාශ කළේ. කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවට සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ නියෝජිතයින් එක්ව සිටිනවා. එහෙත්, මෙම සාකච්ඡාව පවත්වන්නැයි කුමන අරමුණක් පදනම් කරගෙන දැයි තමන් නොදන්නා බවයි ඊට එක්වීමට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එම සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු පැවසුවේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories