වාස් ගුණවර්ධනගේ පුත්‍රයා සැඟවෙයි.

Tuesday, 09 July 2013 - 18:25

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ පුත්‍රයා අත්අඩංගුවට ගන්නා බව රහස් පොලීසිය අද (09) අධිකරණයට දැනුම් දුන්නා. මේ වනවිට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත්‍රයා වන රවිඳු වාස් ගුණවර්ධන සැඟවී සිටින බවද රහස් පොලීසිය ප්‍රකාශ කළා.

කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුව අද යළි විභාගයට ගැනුනේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහබ්දීන් හමුවේයි. රවිඳු වාස් ගුණවර්ධනව අත්අඩංගුවට ගැනීමට කිහිපවතාවක්ම උත්සාහ කළ බවද රහස් පොලීසිය අද අධිකරණයට කියා සිටියා. පදිංචිවී සිටින නිවසට ගිය විට වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා විශාල ලෙස බලපෑම් එල්ල කළ බවද රහස් පොලීසිය සඳහන් කළා.

රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර පැවසුවේ අධිකරණයේදි ඇය පූස් පැටියෙකු ලෙස හැසිරුණත් නිවසට ගිය විට සැබෑ ස්වරූපය පෙන්වන බවයි. පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට වත්තල - හැඳල - මරදාන පාර නිවසද පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

අද (09) නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරුවන්ගේ පාර්ශවයේ නීතීඥවරුන් චෝදනාවක්ද එල්ල කළා. ඒ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වුවත් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ බවයි. මෙවැනි නීතිමය තත්ත්වයන් දෙකක් යටතේ පරීක්ෂණ පැවැත්විය නොහැකි බව එම නීතීඥවරුන් ප්‍රකාශ කළා. එසේ කරන්නේ නම් රැඳවුම් නියෝග යටතේ සිටින සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකරන්නැයිද ඔවුන් කියා සිටියා. සැකකරුවන් සඳහා රැඳවුම් නියෝග ලබාදී ඇත්තේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බව රහස් පොලීසිය අධිකරණයට අද දැනුම් දුන්නා. ඊට අදාළ ලේඛණ පිටපත් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයිද ඔවුන් ප්‍රකාශ කළා.

 එහිදී මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට දැනුම් දුන්නේ  මෙම චෝදනාවට නීතිපති උපදෙස් මත පිළිතුරු ලබාදෙන ලෙසයි.

රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර, මෙම විමර්ශනවලදී තමන්ට එල්ලවී ඇති බලපෑම් ඉහළ ගොස් ඇති බවද දැනුම් දුන්නා. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා පළමුව කටඋත්තර ලබාදීමට පැමිණි අවස්ථාවේ පොලිස් නිල ඇඳුමින් පැමිණි බවද එහිදී හෙළිවුණා. එම අවස්ථාවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කළ තර්ජනය සුළු කොට තැකිය නොහැකි බවයි රහස් පොලීසියේ නිලධාරියා සඳහන් කළේ.

මේ වනවිට රැඳවුම් නියෝග මත සිටින උප පොලිස් පරීක්ෂක බමුණුසිංහ නැමැත්තාගේ නිවස පරීක්ෂා කිරීමේදි පතොරම් ගැබක් සහ උණ්ඩ 10 ක් ද සොයාගෙන තිබෙනවා. සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මේ මස 19 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

 

මේ අතර, අධිකරණයට පැමිණි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නඩු කටයුතු අවසන් වී බන්ධනාගාර බස් රථයට ගොඩවන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි කාන්තාවක් ඔහුට චෝදනා එල්ල කිරීම හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. පසුව අනාවරණය වුණේ මෙම විරෝධය පළ කළ කාන්තාවගේ පුතු 2009 වසරේ ජූනි මස 24 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. එම වසරේම ජූලි 1 වැනිදා අත්අඩංගුවේ පසුවූ තම පුතු ඝාතනයට ලක්වූ බවත් ඊට නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සම්බන්ධ බවටත් මෙම කාන්තාව චෝදනා කළේ මෙලෙසින්.

 

[MP3]s62677[/MP3]       



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories