TNA මහඇමති අපේක්ෂකයා සී.වී.විග්නේෂ්වරන්.

Monday, 15 July 2013 - 12:53

TNA++%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%93.%E0%B7%80%E0%B7%93.%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A.

උතුරු පළාත් සභාව සඳහා තරග වදින දෙමළ ජාතික සන්ධාන මහඇමති අපේක්ෂකයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී.විග්නේෂ්වරන් තෝරාගෙන තිබෙනවා. ඒ අද (15) පෙරවරුවේ පැවති පක්ෂයේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. පක්ෂ නායක ආර්.සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් එක්ව සිටියා. මීට පෙර දෙමළ ජාතික සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාගේ නම ද යෝජනා වී තිබූ නමුත් ඊට ඉන්දියාව විරෝධය පළ කර ඇති බව ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය අද වාර්තා කළා. ඉන්දීය රජය මෙම විරෝධතාවය පළ කර තිබුණේ ඉන්දීය ජාතික රහස් ඔත්තු සේවාව වන රෝ සංවිධානය ඉදිරිපත් කර ඇති කරුණු පදනම් කර ගනිමින්.

ඉන්දියාවේ ඉල්ලීම් නොසලකා හරිමින් 2004 වසරේදී මෙරට උතුරේ දේශපාලනඥයන් එල්.ටී.ටී.ඊ. ය සමග සමීප සබඳතාවක් ඇතිකිරීමට  මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයායි. එවැනි පුද්ගලයෙකු යුද්ධයෙන් පසු උතුරු පළාත් සභාව සඳහා මහ ඇමතිවරයෙකු ලෙස කටයුතු කිරීම සුදුසු නොවන බවයි රෝ සංවිධානයේ අදහස වී ඇත්තේ.

එමෙන්ම යුරෝපයේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවද මාවෙයි සේනාධිරාජා මහ ඇමති අපේක්ෂකයෙකු ලෙස පත්කිරීම පිළිබඳව අප්‍රසාදය පළ කර ඇති බවයි එම වෙබ් අඩවියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

දෙමළ සන්ධානයේ උතුරු පළාත් මහඇමති අපේක්ෂකයා ලෙස නම් කර ඇති   සී.වී.විග්නේෂ්වරන් කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. 1979 වසරේදී විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දුන් ඔහු මඩකලපුව, චාවකච්චේරි, සහ මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළා. 1987 වර්ෂයේදී කොළඹ දිසාවිනිසුරුවරයෙකු ලෙස සේවය කළ ඔහු මහාධිකරණ රැසක විනිසුරුවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා. 2001 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ද  දිවුරුම් දුන් සී.වී.විග්නේෂ්වරන් ඉන් විශ්‍රාම ලැබුවේ 2004 වසරේදීයි.

මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය අද රාත්‍රියේදී ඔවුන්ගේ පක්ෂ මූලස්ථානය වන දරුසලාම්හිදී රැස්වීමට නියමිතයි. මෙහිදී උතුරු පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තරග කරන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෆීක් රාජාබ්දීන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. කෙසේ වෙතත්, නැගෙනහිර පළාත් සභාවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තරඟ කළ ආකාරයෙන්ම උතුරු පළාත් සභා මැතිවරණයට ද තනිව තරඟ වදිනු ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් ද අප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෆීක් රාජාබ්දීන්ගෙන් විමසා සිටියා. ඊට ඔහු දැක්වූ ප්‍රතිචාරයයි මේ.

[MP3]s63074[/MP3]

මේ අතර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡුන්ද විමසීම සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමට එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා මණ්ඩල අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වනවා. අද සිට මේ මස 17 වැනිදා දක්වා නාමයෝජනා මණ්ඩල රැස්වන බවයි එක්සත් ජාතික පක්ෂ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ඊට අමතරව, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වයඹ සහ මධ්‍යම තරඟ වදින අපේක්ෂකයින් තෝරා ගැනීම සම්මුඛ පරීක්ෂණ හෙට සිට 18 වැනිදා දක්වා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories