බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්.

Sunday, 21 July 2013 - 12:54

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් හෙට (22) දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් කරුණාතිලක අමුණුගම සඳහන් කළේ ඔවුන් මෙරට රැඳී සිටින කාලසීමාවේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව ඇති බවයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කන්සර්වේටිව් සහ කම්කරු පක්ෂ නියෝජිතයන් පස්දෙනෙකු හෙට සිට ජූලි 26 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව සඳහන්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, කථානායක චමල් රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් සමගද ඔවුන් අදහස් හුවමාරු කරගැනීමට නියමිතයි. විපක්ෂ නායකවරයා ඇතුළු අනෙකුත් දේශපාලනඥයන් සමගද ඔවුන් සාකච්ඡා කරනු ඇති. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායමේ සංචාරය සංවිධාන කර ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනය සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයයි.
 

මේ අතර ශ්‍රී ලංකාව සහ මෙරට පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පිළිබඳව පසුගිය සතියේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදීද සාකච්ඡාවට බදුන් වී තිබෙනවා. බ්‍රිතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්ට් එහිදී ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. පශ්චාත් යුද සංහිඳියා ක්‍රියාමාර්ග, වගවීම් ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකාවේ වර්තමාන මානව හිමිකම් තත්ත්වය පිළිබඳව බ්‍රිතාන්‍යය අවධානයෙන් සිටින බවයි ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

 
එම අංශවලින් ශ්‍රී ලංකාවෙන් ප්‍රගතියක් අපේක්ෂා කෙරෙන අතර උතුරේ ඡන්දය නිදහස් හා සාධාරණ අන්දමින් පැවැත්වෙනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළා. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදීද ශ්‍රී ලංකාවට මෙතෙක් ප්‍රගතියක් නොලද අංශවලින් වර්ධනයක් ලැබීම සඳහා අවධානයක් යොමු කරලීමට බ්‍රිතාන්‍ය අදහස් කරනවා. එලෙස ප්‍රගතියක් ලැබීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුවහොත් ලබන මාර්තුවේ පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී දැඩි ප්‍රතිචාරයක් දක්වන බවයි බ්‍රිතාන්‍ය අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්ට් ප්‍රකාශ කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories