දයා මාස්ටර් සන්ධාන ලැයිස්තුවෙන් කැපෙන ලකුණු.

Sunday, 28 July 2013 - 18:54

%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.

හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට මෙවර උතුරු පළාත් සභා මැතිවරණයේ දී නාම යෝජනා නොදීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා. ඒ අනුව කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වේලායුදම් දයානිධි නොහොත් දයා මාස්ටර්ට උතුරු පළාත් සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා නොලැබෙනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා. මෙවර පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා අත්සන් කිරීමේ කටයුතු අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුකෙරුණා. එහෙත් අද (28) දිනයේ දයා මාස්ටර් නාම යෝජනා අත්සන් තැබීම සඳහා පැමිණ සිටියේ නැහැ. තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් උතුරු පළාත් සභාව සදහා තරග කරන බවට දයා මාස්ටර් මීට පෙර ප්‍රකාශ  කර තිබුණා. පසුගිය 19 වන දා යාපනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ උතුරේ ජනතාවගේ යහපත වෙනුවෙන් ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කිරීමට තමන් තීරණය කළ බවයි.

[MP3]s63944_1[/MP3]

කෙසේ වෙතත්, වේලායුදම් දයානිධි නොහොත් දයා මාස්ටර් සමීප ආරංචි මාර්ග සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ඔහු උතුරු පළාත් සභාව සඳහා ස්වාධීනව තරග කිරීමට අපේක්ෂා කරන බවයි. හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් ඔහුගෙන් කළ විමසීමකදී තමන් මෙතෙක් එවැනි තීරණයක්  මෙතෙක් ගෙන නොමැති බව දයා මාස්ටර් කියා සිටියා.

දයා මාස්ටර් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයත්වය ලබා ගැනීමට ද පසුගියදා කටයුතු කළා. ඔහු ඊට අදාළ ඉල්ලූම් පත්‍රය යොමුකර තිබුණේ පසුගිය 22 වැනිදායි. වෘත්තීයෙන් ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ දයා මාස්ටර් එල්.ටී.ටී.ඊ සංවිධානය සමග එක්වන්නේ 90 දශකයේ මුල් භාගයේයි. පසුව ඔහු 2009 දී යුධ හමුදාව වෙත භාර වුණා.

මේ අතර, කවුරුන් තරග කළත් උතුරු පළාතේ මහඇමතිවරයා තෝරන්නේ තමන් බව ඊ.පී.ඞී.පී සංවිධානයේ නායක  අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පසුගියදා බී.බී.සී දෙමළ සේවයට ප්‍රකාශ කළා. එමෙන්ම, පසුගිය 23 වැනිදා යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් උතුරු පළාත් සභාව සඳහා තරඟ කරන නාමයෝජනා ලැයිස්තුවේ 36 දෙනාගෙන් 20 දෙනෙකුම ඊ.පී.ඞී.පී සාමාජිකයන් බවයි.

[MP3]s63944_2[/MP3]
 
මේ අතර, එම්. සිරාස් නැමැති අයෙකුට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් උතුරු පළාත් සභාව සඳහා නාමයෝජනා නොලැබීමට විරෝධය පළ කරමින් අද (28) විරෝධතාවයක් ද පැවැත්වුණා. ඒ, යාපනය කච්චේරිය ඉදිරිපිටදීයි. පෙරවරු 11ට ආරම්භ වූ එම විරෝධතාවය පැය 4කට ආසන්න කාලයක් පැවැති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. විරෝධතාවය හේතුවෙන් ඒ 9 මාර්ගයේ ගමනාගමන කටයුතු ද විනාඩි 20කට ආසන්න කාලයක් අවහිර වී තිබුණා. මේ අතර, දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා නාමයෝජනා අත්සන් කිරීම අද (28) පස්වරුවේ සිදුවුණා. ඒ, යාපනයේ පිහිටි ඉලංගෙයි තමිල්අරසු පක්ෂ කාර්යාලයේදියි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories